හාළිඇළ උඩුවර 7 කණුව ප්‍රදේශයේදී පාසල නිම වී නිවසට යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවියක අමානුෂික ලෙස ඝාතනය කර පලා ගොස් සිටි සැකකරු ඊයේ (09දා) අලුයම හාලිඇළ පොලීසියට පැමිණ භාර වූ බව හාලිඇළ පොලීසිය පවසයි.  හාලිඇළ උඩුවර7 කණුව උඩුවරවත්ත පහළ කොටසේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. හාලිඇළ දෙමළ මහා විදුහලේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටි උඩුවරවත්ත පහළ කොටසේ පදිංචිව සිටි ධර්මරාජ් ලිබියා (18) නමැති සිසුවිය මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබිණි.තමන් මියගිය සිසුවිය සමග මීට පෙර ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගිය බවත්,

ටික කාලයකට පසුව සිසුවිය එම සම්බන්ධය නවතා දැමීම නිසාවෙන් තමන් වරින් වර සිසුවියගෙන් ප්‍රේම සම්බන්ධ යළි පටන් ගන්නා ලෙස අයද සිටි බවට සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කරමින් පැවසූ බව හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක  රුවන් ගුණතිලක මහතා පැවසීය.

අදාළ සිසුවිය පෙරේදා (08දා) පාසල නිම වී හාලිඇළ සිට බස් රථයකින් උඩුවර 7කණුවට පැමිණ බසයෙන් බැස පා ගමනින් වලස්බැද්ද මාර්ගය ඔස්සේ නිවස කරා යමින් සිටියදී මගරැක සිට සිසුවියගෙන් ප්‍රේම සම්බන්ධයට කැමති වෙන ලෙසට අයැද සිටි බවත්, ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා සිටි බවත් ඇය ඒ සඳහා අකමැති වූ හෙයින් අත තිබූ පොරොවෙන් සිසුවියගේ ගෙලට පහරක් එල්ල කළ විටම ඇය බිමට ඇදවැටුණු බවත් අනතුරුව සිසුවියගේ හිස තියුණු ආයුධයකින් හතරපස්වතාවක් පහරදී දැමූ බවට සැකකරු පාපොච්චාරණය කරමින් පැවසූ බව පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා සඳහන් කළේය.

ඝාතනය කළ අවිය තේ වත්තකට විසිකර පලා ගිය බව සැකකරු පවසා ඇත.මෙම සිද්ධියෙන් අනතුරුව හාලිඇළ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් යොදවා පරික්ෂණ ආරම්භ කළ අතර එක් පොලිස් කණ්ඩායමක් සැකකරුගේ නිවස ආසන්නයේ රැකවලෙහි යොදා තිබිණි. මේ අතර ඊයේ (09දා) අලුයම තමන් නිවසට පැමිණි අතරතුරේ පොලිස් නිලධාරින් දැක නිවසට නොගොස් හාලිඇළ පොලීසියට පැමිණ මෙසේ භාර වූ බවට සැකකරු පැවසූ බව පොලීසිය පවසයි. හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණාතිලක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වති.


(ඇල්ල - ප්‍රසාද් රුක්මල්)