Due-to-the-dollar-crisis-there-is-no-cure-for-the-private-hospital-system

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය දැඩි අසීරුතාවයකට මුහුණදී සිටින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති,ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි මහතා පවසයි.
මේ වනවිට පෞද්ගලික රෝහල් සඳහා ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පහළ ගොස් ඇති බවත් , මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී ඇතැම්විට දින ගණනාවක් බලාසිටීමට සිදුවන බවත් ඔහු කියාසිටියේය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ මතුවී තිබෙන ඩොලර් අර්බුදය නිසා ඖෂධ සහ වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනෙන් දින ඉහළ යාම පෞද්ගලික රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.සෞඛ්‍ය පරීක්ෂණ සහ සේවාවන්හි මිල ඉහළ දැමීමට සංගමයක් ලෙස මේ වනවිටත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවද,

අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එම සේවාවන් සඳහා මිල පාලනයක් සිදුකිරීමද කළ නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.මෙම අසීරු වාතාවරණය යටතේ වුවද රෝගීන්ට හැකි උපරිම ආකාරයෙන් සහන ලබාදෙන ලෙස සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙරට පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රය තුළ දැඩි පුහුණු සේවක හිඟයක් පවතින බව පැවසූ සභාපතිවරයා ඒ සඳහා විසඳුම් ඉදිරිපත් කරමින් තම සංගමය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බවත්,ඒ සඳහා අවශ්‍ය සහයෝගය රජයේ පාර්ශ්වයෙන් හිමිවන්නේ නම්,සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින පුහුණු සේවක හිඟය අවසන් කිරීමට පමණක් නොව,එම පුහුණු වෘත්තිකයන් විදේශ රැකියා සඳහා යොමුකිරීම තුළින් රටට විදේශ විනිමය විශාල වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවද පවතින බව වැඩිදුරටත් සඳහන් කළේය.
තම සංගමය පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව සහ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ ආයතනය (NAITA)සමග එක්ව පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිටත් ක්‍රියාත්මක කරන බවත්,එම කටයුතු තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා රජයේ බලධාරින්ගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවද කුරුප්පු ආරච්චි මහතා පැවසීය.

” ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ ආයතනය, පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සහ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව එක්ව ආරම්භ කළ  එම හෙද පුහුණුව සඳහා වන අවබෝධතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාව සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් වෙනුවෙන් පුහුණු පාසලක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර මේ වනවිට ගෙන තිබෙනවා.මේ පිළිබදවත් අපගේ ලිපිය හරහා ජනාධිපතිතුමන් දැනුවත් කළා.මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහාද ජනාධිපතිතුමා නිසි උපදෙස් සහ මගපෙන්වීම අදාළ අමාත්‍යංශ සහ නිලධාරීන් වෙත ලබාදේයැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගීත් ගුණසේකර