Years-15-months-after-Krishti-Nihal-came-out-of-jail-and-broke-into-a-pharmacy-again

කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් තිස් හයක් බිඳ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් වසර පහළොවක් සිර දඬුවම් විඳ පැමිණ, මසක් ඇතුළත කොට්ටාව,  මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් දහ හත් ලක්ෂ අනු තුන් දහසක් වටිනා මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුවේ "ක්‍රිෂ්ටි නිහාල්" නමැත්තකු ඉකුත් 27වැනිදා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.  මේ සොරකම් සියල්ලෙන් උපයාගත් මුදල් බූරුවා ගැසීම සහ රේස් බයි රේස් සූදු කෙළීම සඳහා වැය කර ඇතැයි පොලිසිය කියයි .

කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේ  පිහිටි පෞද්ගලික ඔසු සලක පිටුපස ආරක්ෂිත දොරක් කඩා ඇතුළුවී , එහි මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල්  දා හතර ලක්ෂ හාර දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් හා ආලේපන වර්ග තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. ‍

මෙසේ සොරාගත් භාණ්ඩ පෝර උරයක බහා හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක නැග කොළඹ දෙසට යන අයුරුද එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය සඳහන් කරයි. සොරකම සිදු වූ දිනට පසුදා ඔසුසල් හිමියන් පැමිණ දෙනික කටයුතු ආරම්භ කිරීමට යාමේදී ඔසුසලෙහි පිටුපස ආරක්ෂිත දොර කඩා ඇති අයුරු සහ ඔසුසලෙහි ස්ථාන රැසක් අවුස්සා මුදල් අයකැමි ලාච්චුව ද විවෘත කර තිබෙනු දැක කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී , සොරකමෙන් දින දෙකකට පසුව, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කොස්තාපල් 77780 සම්පත් නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණේ සොරකම සිදුකළ පුද්ගලයාට සමාන පුද්ගලයකු කොට්ටාව බස් නැවතුම්පළ ආසන්නයේ රැදී සිටින බවයි.

ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චතුරංග මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔසුසල බිඳ මුදල් හා දේපළ සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදලින් 2,74,900 මුදලක් සන්තකයේ තිබී බාරයට ගත් බවත්  රුපියල් 3,50,000 පමණ වටිනා කිරි පිටි, ආලේපන වර්ග හා විටමින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසයි. මේවා කොළඹ නගරය ආශ්‍රිත ඔසුසල් රැසකට අලෙවි කර තිබූ අතර රුපියල් 2000 පමණ වටිනා කිරිපිටි ටින් එකක් රුපියල් 500 කට විකුණා තිබූ බව ද පොලිසිය කියයි .

තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36ක් බිඳ ඒ සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයකු බවත් හෙළිවී යැයි පොලිසිය පැවැසීය. එසේම 2006 වසරේදී වත්තල ප්‍රදේශයේ පිහිටි දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරාගැනීමට ගිය අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021 දෙසැම්බර් මාසයේදී සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධවූවකු බවටත් අඹන්පොළ, පින්දෙණිය හා මහරගම යන පොලිස් වසම්වල වූ සොරකම් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සැකකරු වසර 15 ක සිර දඬුවම් විඳ නිදහස් පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි " ක්‍රිෂ්ටි නිහාල් " නමැති (57) හැවිරිදි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතව සිටී.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-