He-stabbed-his-wife-to-death-with-a-sharp-object-while-breaking-a-jackfruit

දරුවකු ප්‍රසූත කිරීමට බලා සිටින බිරියගේ දොළදුක සංසිඳවන්නට සිය වැඩිමහල් දියණිය සමඟ අසල
පිහිටි ඉඩමක කොස්ගෙඩියක් කඩාගන්නට ගිය ඇල්පිටිය පිටුවල උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු උල් ආයුධයකින්
ඇන මරා දමා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය පිටුවල උතුර,
එගොඩගෙදර ලිපිනයේ පදිංචි කේ.එම්. ෂෙහාන් ලසන්ත නමැති 34 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය  අය
රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි  මාර්ග පවසයි.

දෙදරු පියකු වන මරණකරුගේ
වැඩිමහල් දියණිය පිටුවල කනිටු විදුහලේ පහ වසරේ ඉගෙනුම ලබන අතර බිරිය දෙවැනි දරු ප්‍රසූතියට
සූදානම්ව සිටින බව කියයි.

කුලී වැඩ කරමින් ජීවත් වන ඉතා දිළිඳු පවුල්කරුවකු වූ මියගිය අය පදිංචිව සිටින්නේ  සැකකාර බාප්පාගේ
නිවෙස ආසන්නයේමය. කොස්ගස පිහිටි මෙම ඉඩම කලින් මෙම සැකකරුට අයත්ව තිබී ඇති අතර පසුව අධිකරණ
තීන්දුවකින් බෙදා වෙන් කිරීමේදී මෙම ඉඩම වෙනත් අයකුට අයිති වී ඇත. මෙම ඉඩම පිහිටා ඇත්තේ
මරණකරුගේ හා සැකකරුගේ නිවෙස් ඉදිරිපිටය.

ගැබිනියකව සිටින බිරිය කොස් කෑමට ආසාවක් ඇතැයි පැවැසූ නිසා වෙනත් අයකුට අයත් අසල පිහිටි එම
ඉඩමේ කොස් ගසක කොස් ගෙඩියක් කඩා ගැනීමට සිය වැඩිමහල් දියණියද සමඟ මරණකරු එහි ගොස් ඇත.
කොස් ගෙඩිය කඩා ගන්නවා දුටු ඒ අසල නිවසේ පදිංචි බාප්පා මරණකරුට බැන වැදීමේ සිද්ධියත් සමඟ
ඇති වූ බහින්බස් වීමෙන් පසු බාප්පා විසින් මරණකරුට පිහියකින් ඇන ඇතැයි පරික්ෂණවලදී හෙළි වී ඇතැයි
පොලිසිය පවසයි. මෙම සිද්ධියට සම්බන්ධ පාර්ශ්වයන් අතර නිතර ආරවුල් තිබුණු බව දැනට කරන ලද
විමර්ශනවලින් හෙළි වී ඇති බවද පොලිසිය පවසයි.



මෙම පහරදීම සිදුකළ බවට සැක කෙරෙන මියගිය අයගේ පියාගේ සහෝදරයකු බව කියන අසූ හැවිරිදි
සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය
වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල පද්ම කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය
පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු පොලිස්
කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.