The-twins-are-exchanged-and-the-younger-brother-is-killed-in-an-incident-of-the-elder-brother

එකම හැඩ රුවෙන් යුත් සහෝදරයන් දෙදෙනා මාරු වී සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බස් රථවල සිදු කියනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ මංජුල වසන්ත පුෂ්පකුමාර නමැති 51ක් හැවිරිදි තැනැත්තකු බව පොලිසිය කියයි.



මීට සතියකට පමණ ඉහත දී සැකකරු ඔහුට අයත් කැසට් යන්ත්‍රයක් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මල්ලිට උකස්කර රුපියල් පන්සීයක් ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකාර පුද්ගලයා පෙරේදා 22 වැනිදා එය බේරා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී එකම හැඩරුවින් යුත් අයියා පමණක් නිවෙසේ සිට ඇති අතර ඒ පිළිබඳව නොදැන සිටි සැකකරු සිය උකස් තබන ලද කැසට් යන්ත්‍රය ලබාදෙන ලෙස පවසා රුපියල් 500 එම පුද්ගලයා වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ දී මරණකරු "මොන කැසට් යන්ත්‍රය ද බං” යැයි පවසද්දී සැකකරු හා මරණකරු අතර ඇති වූ බහින් බස්වීම දුරදිග යාමෙන් අනතුරුව සැකකාර සින්දු කියන්නා විසින් සගවාගෙන සිටි තියුණු ආයුධයෙන් මරණකරුගේ පිට ප්‍රදේශයට ඇන පලා ගොස් සිටි බව පොලිසිය කියයි. මෙම බරපතළ තුවාල ලද පුද්ගලයා ඒ මොහොතෙන්ම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඔවුන් මියගොස් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායම සැකකරු බස් රථයක සින්දු කියමින් සිට යාබද බස් රථයට ගොඩවීමට යාමේ දී අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය කියයි.

ඒ වන විටත් සැකකරු ඔහු විසින් පිහියෙන් අනින ලද පුද්ගලයා කැසට් යන්ත්‍රය උකස් ලබාගත් පුද්ගලයා නොවන බව හෝ ඔහු මියගිය බවක් හෝ නොදැන සිටි බවත් පොලිසිය සඳහන් කළේය.ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තාරක විජේසිංහ මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.


(බණ්ඩාරගම බිමල් ශ්‍යමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක-lankadeepa)