කොළඹ වරායට පැමිණි නෞකාවකින් ගෙන ආ අබලි යකඩ සහිත කන්ටේනරයක සඟවා තිබූ රුපියල් බිලියන 6ක් පමණ වටිනා කොකේන් කිලෝ 350ක තොගයක් රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය ඊයේ (23) සොයාගෙන තිබේ.



ප්‍රති අපනයනය කිරීමට තිබූ අබලි යකඩ තොගයක් තුළ තිබූ රුපියල් කෝටි 350 අධික කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 350ක් රේගු භාරයට ගෙන තිබේ.

ව්‍යාජව ලේඛන සකස් කරන ලද කන්ටේනරයක කිබූ මේ කොකේන් තොගය හමු වී ඇති අතර, එම කන්ටේනරය සම්බන්ධයෙන් සැක සිතී කළ පරීක්ෂාවකදී මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

වැඩි දුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම නෞකාව ඉන්දියාවට යමින් තිබී ඇති අතර, එහි තිබූ අබලි යකඩ සහිත කන්ටේනරයක මලුවල අසුරා මේ කොකේන් තොගය සඟවා තිබූ බවය.

කොකේන් තොගය සම්බන්ධයෙන් රේගුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ නීතිඥ සුදත්ත සිල්වා මහතා පැවසීය.