ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබීම හේතුකොටගෙන බ්‍රිතාන්‍යය පසුගියදා සිය සංචාරකයින්ට ලංකාවේ ගමන් ගැන අනතුරු ඇඟවීමක් කරමින් දන්වා සිටියේ ලංකාවට ගියොත් අපහසුතා විඳින්නට සිදුවනු ඇති බව දන්වමිනි.



කැනඩාව හා ඔස්ට්‍රේලියාව යන රටවල්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා ඇත. ඒ අතරින් ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රෙඩිට් කාඩ් වංචාවන් සහ අසාධාරණ ලෙස මුදල් අයකිරීම් බහුලව සිදුවන බවය. විදේශිකයන් ඉලක්ක කොට ව්‍යාජ භාණ්ඩ අලෙවියද සිදුවන බවත් ඒ අතරින් මැණික් හා ස්වර්ණාභරණ විශේෂ බවද ඔවුන් දන්වා තිබේ.

එමෙන්ම විදෙස් කාන්තාවන්ට වාචිකව හා කායිකව සිදුකරන හිරිහැර පිළිබඳව දිගින් දිගටම වාර්තා වන බවද ඔවුන් වාර්තා කරයි. ඇතැම් අවස්ථාවලදී එම හිරිහැර ලිංගික අතවරයන් දක්වා වර්ධනය වන බව හා බොහෝවිට මෙවැනි සිදුවීම් බස් රථ, දුම්රිය ස්ථාන හෝ ජනාකීර්ණ ස්ථානවලදී සිදුවන බැවින් ශ්‍රී ලංකාවේ වීදි තුළ ගමන් කිරීමේදී තනිවම ගමන් නොකොට කුඩා කණ්ඩායම් ලෙස ගමන් කරන ලෙසට ඔවුන් සංචාරකයන්ට අනතුරු අඟවා ඇත.

ඔස්ට්‍රේලියානු රජයේ නිල වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමේ සැලසුම වෙනස් කරගන්නා ලෙසය.

එංගලන්ත රජයේ නිල වෙබ් අඩවියද පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත සංචාරකයන්ට මෙරට පවතින අර්බුද පිළිබඳව අනතුරු අඟවමින් අත්‍යවශ්‍ය භාණ්ඩවල දැඩි හිඟයක් පවතින බවත් දිනපතා සලාක ක්‍රමයට විදුලි කප්පාදුවද සිදුකරන බවත් දන්වා තිබුණි. එරට වැඩිදුරටත් තම සංචාරකයන් වෙත අනතුරු අඟවා තිබුණේ දකුණු වෙරළ තීරයේ නිවාඩු නිකේතන හා තැබෑරුම් තුළදී විදේශිකයන්ගේ පාන වර්ගවලට ලාංකික තරුණයන් මත්පෙති කලවම් කර මංකොල්ලකෑම් සිදුකරන බවය.



කැනඩාවේ රජයද නිවේදනයක් නිකුත් කර සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේදී ආහාර, ජලය හැකි පමණ ළඟ තබාගන්නා ලෙසය. ප්‍රමාණවත් ලෙස ඖෂධ කැනඩාවෙන් රැගෙන යාමට වගබලාගන්නා ලෙසද එරට රජය දන්වා ඇත. එක්සත් රාජධානිය, රුසියාව සහ ඉන්දියාවට පසු ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රට වන බැවින් පාස්කු ප්‍රහාරයෙන් මෙන්ම කොවිඩ් අර්බුදයෙන් සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා මෙන් වර්තමානයේදී විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් සංචාරක කර්මාන්තය කඩාවැටෙනු ඇති බව එම වෙබ් අඩවි සඳහන් කරයි.