A-student-of-a-leading-school-in-Colombo-has-been-abused-for-4-years
වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (30) නියෝග කළාය.





මෙම ගුරුවරිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉවත් කරගැනීමෙන් පසුව අපයෝජන සිද්ධියට අදාළව සැකකාරියක වශයෙන් අධිකරණය හමුවේ නම් කරනු ලැබීමෙන් පසුව අධිකරණය ඇය එලෙස ඇප මත මුදාහැරියේය.මෙම සිද්ධියට අදාළ නඩු දෙකෙහිම විස්තර ඇතුළත් නඩු ගොනුවක් නීතිපතිවරයා වෙත යොමු කර නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට ළමා හා  කාත්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයට නියෝග කළ අධිකරණය, නොතීසියක් ලද පසු අධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකාරියට නියම කළේය.

මෙම අපයෝජන සිද්ධියට අදාළව සැකකාරියගේ පින්තූර සම්බන්ධයෙන් පරික්ෂා කර බැලිය යුතුව ඇති අතර, දුරකතන වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් සැකකාරියට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.



ඒ අනුව, වහාම එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද අධිකරණයෙන් සැකකාරියට නියෝගක් නිකුත් විණි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂිකා සමන්ති රේණුකා යන මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. සැකකාරිය වෙනුවෙන් නීතිඥ සහන් ප්‍රනාන්දු, නීතිඥ දිලුම් බණ්ඩාර, නීතිඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

(නිමන්ති රණසිංහ)