Sooriyawewa-couple-sponsors-families-without-electricity-at-their-own-expense

සරණක් ඇවැසි අසරණයකු දුටු විට ඔහුව පිටුපා යන මිනිසුන් සිටින සමාජයක තමන්ගේ හා සිය බිරියගේ රැකියාවෙන් ලැබෙන මාසික වේතනයෙන් කොටසක් සෑම මසකම අසරණ පවුලක් වෙනුවෙන් ලබා දෙමින් සමස්ත සමාජයටම ආදර්ශයක් සපයන අපූරු අඹුසැමි යුවළක් පසුගිය දින සූරියවැව බෝගහඉදිවැව ප්‍රදේශයේදී මුණගැසුණි.ඒ තවත් අසරණ පවුලක් සඳහා විදුලිය ලබාදීමේ අවස්ථාවකට එක්ව සිටියදීය.

තවමත් තරුණ වියේ පසුවන මේ අපූරු අඹුසැමි යුවළ පිළිබඳ රටට කියන්නට තීරණය කළේ මෙය අගය කළ යුතු කටයුත්තක් නිසාවෙනි.ලංකා විදුලි බල මණ්ඩලයේ දකුණු පළාත් විදුලි ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන ඔහු නමින් ලහිරු විතාරණ හසරංගය.ඔහුගේ බිරිය මාතර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක බැංකු නිලධාරිණියක ලෙස කටයුතු කරන අතර ඇය සුමුදු විජේසිංහය.

මේ දෙපළ ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ පියකු හා මවකි.

තමන් සිදු කරන මෙම සමාජ සත්කාරය පිළිබඳ ලහිරු විතාරණ හසරංග මහතා මෙලෙස විස්තර කළේය.මම දැනට පදිංචි වෙලා ඉන්නේ මාතර ගොඩගම ප්‍රදේශයේයි.මාතර රාහුල විද්‍යාලයේ තමයි මන් අධ්‍යාපනය ලැබුවේ.පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයෙන් 2010 වසරේදී උපාධිය ලබාගෙන ලංකා විදුලි බල මණ්ඩලයට එකතු වුණා.විදුලි ඉංජිනේරුවෙකු ලෙස මා වසර 05ක පමණ කොළඹ ප්‍රදේශයේ වැඩ කරලා පසුව දකුණු පළාතට රාජකාරිය සඳහා පැමිණියා.දවසක් මම මුහුණු පොතේ දැක්කා සූරියවැව ප්‍රදේශයේ විදුලිය නොමැති අසරණ පවුලක් පිළිබඳ විස්තර.මම දවසක් මේ පවුල සොයාගෙන ගියා.

ඇත්තටම මා එම නිවසට ගියාම මට පුදුම තරම් දුකක් ඇති වුණේ.

ඒ නිවෙසට ගිය මං ඇස් දෙකින්ම දැක්කා මේ අය විදපු දුක.මම ගෙදර ඇවිත් මගේ බිරියට මේ ගැන කිව්වා.ඒ අනුව අපේ බාල දියණිය චනිදි ආමාන්ද්‍යාගේ උපන්දිනය වෙනුවෙන් අපි ඒ නිවෙස සමුපූර්ණයෙන්ම වයරින් කරලා විදුලිය ලබා දුන්නා.ඇත්තටම එදා අපිට පුදුම සතුටක් දැනුනේ.එදා ඉදන් අපි කොහේ හෝ ඉන්න අසරණ පවුලක් වෙනුවෙන් පිහිට වෙන්න කටයුතු කරනවා.මට ලැබෙන වැටුපෙන් වගේම මගේ බිරියට ලැබෙන මාසික වැටුපෙනුත් කොටසක් හැම මාසයේම අසරණ පවුලක් සඳහා අයින් කරනවා.

ඒ විදියට මේ වෙනකොට මං අසරණ පවුල් 18ක් සඳහා නිවාස සම්පූර්ණයෙන්ම වයරින් කරලා විදුලිය ලබා දි තියෙනවා.ඊට අමතරව ආබාධිත දුවා දරුවන් සඳහා රෝද පුටු හා අධ්‍යාපනික උපකරණත් ලබාදීමට කටයුතු කර තියෙනවා.ඇත්තටම අපි මේ සිදුකරන පරිත්‍යාග නිසා මගේ වැඩිමහල් දියණිය මිනුදි ආරද්‍යා, බාල දියණිය චනිදි ආමාන්ද්‍යා වගේම අපි දෙදෙනත් පුදුම තරම් සතුටක් ලබනවා.

 (නුවන් ජයසේකර - සූරියවැව)