mahinda-speaks

එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර තිබුණෙ නැහැ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) පස්වරුවේ පැවසීය.




කිරම - කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව මෙසේය.
හිතවත් සහෝදරවරුනි,
පහුගිය ආණ්ඩුව කාලේ මේ පළාතේ තිබුණ සංවර්ධනය ව්‍යාපෘති ඇණහිටියා. මේ ප්‍රදේශයේ  විතරක් නෙමෙයි මුළු රටේම  සංවර්ධන කටයුතු ඇණහිටලයි තිබුණෙ. ඒ නිසා එදා අපි ආරම්භ කරපු සංවර්ධන ව්‍යාපෘති අතරමග නැවතුණා. ජාත්‍යන්තර වරාය හැදීම වේවා, ගුවන්තොටුපොළ වේවා, මේ සියල්ලක්ම මේ ප්‍රදේශවල දියුණුවට කරපු වැඩ කටයුතු එදා ඒ ආණ්ඩුව අපෙන් පළිගන්න හිතාගෙන නැවැත්තුවා. කිසිම දෙයක් කරේ නෑ. කාගෙන්ද ඒ අය පළිගත්තේ? මේ  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, එහෙම නැත්නම් මේ ප්‍රදේශය විතරක් නෙමෙයි මේ රට පුරා විසිරී සිටි අපේ ජනතාවගෙන් පළිගැනීම තමයි අවසානයේදී සිදු වුණේ.


අද ඔබ අප කෙරෙහි නැවත විශ්වාසය තියලා අපිව ජයග්‍රහණය කරලා ආණ්ඩුවක් පිහිටවලා තියෙනවා. අපේ ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපතිතුමා  අද ආණ්ඩුවක් පිහිටවලා කටයුතු කරගෙන යනවා. අද උදේ ඇඹිලිපිටියේ තිබුණ සංවර්ධන වැඩපිළිවෙළට වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් අපිත් සහභාගී වුණා. ඉතිං ඒ විදිහට හැම පළාතකම අලුත් සංවර්ධනයක් ඇති වෙනවා. මිනිස්සුන්ට බීමට ජලය ටික ලැබෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමේ වැඩපිළිවෙළක් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යනවා.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ආණ්ඩුව ආව දවසේ ඉදලා මේ රටේ අලුත් නැම්මක් ඇති වුණා. රට සංවර්ධනය කරා ගමන් කෙරුවා. එක පළාතකට සීමා වෙන්නේ නැතුව එක ප්‍රදේශයකට සීමා වෙන්නේ නැතුව මුළු ලංකාවේම එක හා සමානව මේ සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා.
උතුර වේවා දකුණ වේවා නැගෙනහිර වේවා බටහිර වේවා  මේ සියලු පළාත්වල  සංවර්ධනය ඒකාකාරීව සිදුවෙමින් පවතින යුගයක් අපිට මීට පෙර තිබුනෙ නෑ.
 මේ රටේ තරුණ පරපුරට රැකීරක්ෂා අවස්ථා ඇති කරන්න නම් වහාම  රට තුළ  සංවර්ධනයක් ඇති වෙන්න ඕන. සංවර්ධනයක් නැතුව රැකියා අවස්ථාවන් ලබාදෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නෑ.