chat-love-gampola

දහතුන් හැවිරිදි පාසල් දැරියක් අතුරුදන්ව ඇති බවට ගලහ පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය 07 වැනි දින පස්වරුවේය. පැමිණිල්ල කර තිබුණේ ඇගේ මවුපියන් සමඟ පැමිණි පුංචි අම්මාය. පැමිණිල්ලට අනුව අතුරුදන්ව සිටියේ ගම්පොළ නිල්ලඹ පදිංචි යෝගරාජා කලේවානි නැමැති පාසල් ශිෂ්‍යාවකි. නි‍ෙවසේ තම දරුවන් සමඟ සමඟ සෙල්ලම් කරමින් සිටි කලේවානි හිටි හැටියේම දැක ගන්නට නොසිටි බවත් අසල්වාසීන් සමඟ ප්‍රදේශය පුරා සොයා බැලුවත් හමු නොවුණු නිසා පැමිණිල්ලක් කිරීමට පැමිණි බවත් පුංචි අම්මා වන නාගේෂ්වරී පොලීසියට පවසා තිබිණි. පැමිණිල්ලට අනුව පොලීසිය වහා ක්‍රියාත්මක වී පොලිස් නිල සුනඛයන්ගේ සහ­ායද යොදා ගනිමින් දැරිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. දැරියගේ ඇඳුම් පැළඳුම් මඟින් ලබාගත් ඉව ඔස්සේ අදාළ ප්‍රදේශයේ ලඳු කැලෑ හා ගල්ගුහා වලට පවා පොලිස් නිල සුනඛයන් රැගෙන ගොස් පරීක්ෂණ කළත් ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි විය.



නිල සුනඛයන් කලේවානිගේ ඇඳුම් මගින් ලබාගත් ඉව ඔස්සේ ගම්මානයේ සිට ප්‍රධාන මාර්ග දක්වා පැමිණ නතර වීම නිසා පොලිස් පරීක්ෂණ වෙනත් මගකට යොමු විය. ඒ කවුරුන් හෝ වාහනයකින් දැරිය රැගෙන යන්නට ඇතැයි යන සැකය ඔස්සේය. මෙලෙස පරීක්ෂණ සිදු කෙරෙත්දී අතුරුදන්වූ බව කියන දරුවා රැගෙන ඇගේ දෙමව්පියන් ගලහ පොලීසියට පැමිණියේ පැමිණිල්ල සිදුකර හරියටම දින දෙකකට පසුය. එතැන් සිට හෙළිවූ කරුණු විග්‍රහ කිරීමේදී ජංගම දුරකතනය සමඟ සමීප සම්බන්ධතා පවත්වන දරුවන්ගේ අභ්‍යන්තරයේ සිදුවන මානසික ක්‍රියාවලිය සම්බන්ධව යම් වැටහීමක් ලබා ගැනීමට පුළුවන.

දින දෙකක කාලය තුළ දහතුන් හැවිරිදි කලේවානි දිවා රාත්‍රි දෙකේම තනිව ගොස් තිබූ දුර කිලෝ මීටර් 500 කට ආසන්නය. මේ ගමනට හේතුව ජංගම දුරකතනය ඔස්සේ නොදන්නා තරුණයකු සමඟ ඇතිකර ගත් ප්‍රේම සමබන්ධයකි.

කලේවානිගේ පියා මහනුවර මධ්‍යම වෙළෙද පොළේ සේවය කර දරු පවුල නඩත්තු කරන්නෙකි. මව රැකියාවක් නොකරයි. අධ්‍යාපන කටයුතුවලට අදාළ ඔන්ලයින් පාඩම් සඳහා රැගෙන දුන් ජංගම දුරකථනය වෙත වැරදීමකින් පැමිණි ඇමතුමක් ඔස්සේ ඇය පෙම්වතියක් වී ඇත. කිලෝ මීටර සිය ගණනක් දුර ගෙවා ඇය සොයා ගොස් තිබුණේ එම පෙම්වතාය. මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. එයා කවුද කියලා මම දන්නේ නැහැ. මගේ විස්තර ඇහුවා. ඊට පස්සේ එයා මට විටින් විට කතා කළා. පින්තූරත් එව්වා...

කලේවානිගේ ප්‍රේම සම්බන්ධයේ ඇරඹුම එසේය.

මෙම දුරකතන ඇමැතුම ඔස්සේ ඇතිවූ කතාබහ මාසයක් පමණ වෙත්දී නැන්දාගේ දියණිය මේ පිළිබඳ සැල්කිල්ලෙන් සිට එම නොම්බරය අවහිර (Block) කර ඇත. තරුණයා පසුව වෙනත් නොම්බරයකින් ඇමැතුම් ලබාගෙන නැවතත් කලේවානි හා කතාබහ ආරම්භ කර තිබේ.

දැරිය පවසන පුද්ගලයා හැටන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පසුගිය 07 වැනි දින ඇය කාටත් හොර රහසේ ඇඳුම් බෑගයද රැගෙන නි‍ෙවසින් පිටව ඇත්තේ මේ පෙම්වතා ළඟට යන්නටය. එහිදී ඇය හදිස්සියට රැගෙන ගොස් තිබුණේ තමන්ගේ ඇඳුම් බෑගය අසලින්ම තිබූ නැන්දාගේ රෙදි බෑගයයි. වැරදීමකින් මෙලෙස ඇඳුම් බෑගය මාරුවීම පොලිස් පරීක්ෂණද වෙනතකට යොමු කිරීමට හේතු වූයේ දැරිය තමන්ගේ තීරණයකට අනුව නිවෙසින් ගියේ නම් ඇය ඇඳුම් බෑගයද රැගෙන යන බවට පොලීසිය අනුමාන කිරීම හේතුවෙනි.

මම ගෙදරින් පාරට ඇවිත් ත්‍රීවිල් එකකට අත දාලා නැවැත්තුවා.

ඒකෙන් ගම්පොළට ගියා. ඒකේ හිටපු අයියාගෙන් රුපියල් සීයක් ඉල්ලා ගත්තා.ගම්පොළින් හැටන්වලට යන බස් එකකට නැග්ගා. හැටන්වලින් බගවන්තලාවට බස් එකක ගියා. මගෙත් එක්ක ෆෝන් එකෙන් චැට් කරපු අයියට මම කතා කරලා කිව්වා මම ඇවිත් ඉන්නේ කියලා. එතකොට ගොඩක් රෑ වෙලා. ඒ අයියා එයාගේ ආච්චිත් එක්ක මම හිටපු තැනට ආවා. මගෙත් එක්ක ෆෝන් එකෙන් චැට් කරපු අයියගේ ෆොටෝ එකේ හිටපු කෙනයි මෙයයි වෙනස්. මම කිව්වා ඔයා නෙවෙයිනේ කතා කළේ කියලා. ඒ අයියා කිව්වා කතා කරපු කෙනා ඉන්නේ මීගමුවේ කියලා.

ඒ නි‍ෙවසේ රැය පහන් කළ දැරියව පසුදින මිත්තණිය විසින් පිටත්කර තිබුණේ මීගමුවට යාම සඳහා ඇයට රුපියල් 400 ක මුදලක්ද ලබා දෙමිනි. නි‍ෙවසේ සිටි තරුණයා බගවන්තලාවේ සිට හැටන් දක්වා ඇයව කැඳවාගෙන පැමිණ කොළඹ බස් රථයකට ගොඩකර තිබෙන්නේ මීගමුවේ තරුණයාගේ දුරකතන අංකයද ලබා දෙමිනි. එම බසයෙන් කොළඹ පැමිණ එහි සිට තවත් බසයකින් ඇය මීගමුවට පැමිණ තිබේ. දුරකතනයෙන් කතා කරගත් පරිදි තරුණයා ඇය එනතුරු මීගමුවේ බස් නැවතුමේ රැඳී සිට ඇත. ඔහු පවසා ඇත්තේ තමන් කා සමඟවත් කතා නොකළ බවකි. තමන්ගේ ඡායාරූපයක් කාටවත් යවා නොමැති බවද ඔහු පවසා ඇත.

තමන් ගෙන තිබෙන තීරණය වැරදි බව තේරුණු කලේවානි මවට දුරකතන ඇමැතුමක් ලබාදී තමන් මීගමුවේ සිටින බව පැවසුවාය. මීගමුවේ සිට මහනුවරට බස් රථයකින් ඇය එනවිට 09 දින අලුයම 1.30 පමණ වී ඇත. ඇය එනතුරු බස් නැවතුමේ රැඳී සිටි මව සහ පියා ඇතුළු පිරිස පසුදාට හිරු නැගෙත්දීම දරුවාත් රැගෙන ගලහ පොලීසියට ගියේ සිදුව තිබෙන දේ ඔවුන්ට කියන්නටය.

දින දෙකක් තිස්සේ සිදුවූ දේ කලේවානිගේ වචන වලින්ම පොලිස් පොතේ ලියවිණි. දැන් ඇය වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමුකර තිබෙන්නේ අපයෝජනයට ලක්ව තිබෙන්නේද සොයන්නටය. දැනට හෙළිව තිබෙන කරුණු අනුව මෙම දැරිය හා ජංගම දුරකතනයෙන් කතාබස් කර ඇත්තේ බගවන්තලාවේ තරුණයාය. ඔහු තම ඡායාරූපය වෙනුවට මීගමුවේ සිටින ඔහුගේ මිතුරාගේ ඡායාරූපයක් මේ සඳහා පාවිච්චි කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වන මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරී,නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ පවසන්නේ මෙවැන්නකි. කොවිඩ් වසංගතය එන්න කලින් යම් ප්‍රමාණයකට දරුවෝ අතට ජංගම දුරකතන ලබාදීම සීමා වෙලා තිබුණා. නමුත් මාර්ගගත අධ්‍යාපනය නිසා දරුවෝ අතට අකමැත්තෙන් වුණත් මේක දෙන්න සිද්ධ වුණා.

මේ දරුවා ආදරය ගැන මොනවද දන්නේ. එයා මුලා වෙලා. දරුවෝ ගැන මීට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන‘

ළමයින් අතට ජංගම දුරකතන පත්වීමේ අහිතකර බලපෑම සම්බන්ධව මහනුවර ජාතික රෝහලේ හිටපු විශේෂඥ මනෝ වෛද්‍ය ඩබ්ලිව්. ඒ.එල් වික්‍රමසිංහ මෙසේ කරුණු හෙළි කළේය.

කොවිඩ් ආරම්භයට පෙර මනෝ රෝග චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමුවූ ශිෂ්‍ය සංඛ්‍යාව මේවන විට 40 % කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වූ දරුවන් වෛද්‍යවරුන් වෙත පැමිණීමේ ප්‍රවණතාව පාසල් ආරම්භ වීමත් සමඟ ඉහළ ගොස් තිබෙන බව පෙනෙනවා. දරුවන්ගේ මානසික වර්ධනය උපන් දා සිට සිදු වුණත් වයස අවුරුදු දෙකක් යනතෙක් ඩිජිටල් තිර සහිත මෙවලම් ඔවුන්ට ලබා නොදිය යුතු බවට මනෝවිද්‍යාත්මක රීතියක් තිබෙනවා. වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ස්මාර්ට් ෆෝන් භාවිතයට ඉඩ ලබා නොදිය යුතු බවටත් රීතියක් පවතිනවා.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රීයන්ත පීරිස් ගේ උපදෙස් මත පොලිස් අධිකාරී කමල් ආරියවංශ ගේ අධීක්ෂණය යටතේ ගලහා වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

අසේල කුරුළුවංශ (silumina)
ඡායාරූප සහ පසුබිම් වාර්තාව - ගම්පොළ සුරංග දිල්හාන්