Investigations-into-a-thief-who-broke-a-window-in-the-Horagolla-palace-and-entered-in-the-middle-of-the-night

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පදිංචි හොරගොල්ල වලව්වේ ජනේලයක් කඩා මහ රෑ සොරෙකු ඇතුළුවීම් සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරික්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය පෙරේදා (07දා) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.



සොරෙකු පසුගිය 2021/01/20වැනිදා මහ රෑ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පදිංචි හොරගොල්ල වලව්වේ ජනේලයක් කඩා ඇතුළු වී වයින් බෝතල් කිහිපයක් සොරා ගෙන ගොස් තිබිණ.එම සිද්ධිය පිළිබදව නිට්ටඹුව පොලීසිය මූලික පරීක්ෂණ පැවැත්වීමේදී වයින් බෝතල් පමණක් සොරාගෙන ගොස් ඇති නමුත් සොරා ආතුළු වී ඇත්තේ කුමන අරමුණකටද යන්න හෙළි කරගැනීමට නොහැකිවී තිබිණ.

මේ අනුව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඒ පිළිබද වැඩිදුර පරික්ෂණ පැවැත්වීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූවට යොමුකර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණ කටයුතු භාර දීමෙන් අනතුරුව සොරා ඇතුළු වූ දිනයේ හොරංගාල්ල වලව්වේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් සිවුදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු කරගෙන යන බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.

එම නඩුව පෙරේදා (07දා) නැවත කැඳවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු මහෙයුම් අංශඋපපොලිස් පරීක්ෂ කේ.එස්.එස් ආරියරත්න මහතා කරුණු දක්වමින් එදින හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ල වලව්වේ සිට නොමැති බවත් ආරක්ෂික අංශයේ සිවුදෙනෙකු ආරක්ෂක රාජකාරියේ යෙදී සිට ඇති බවට පරික්ෂණවලදී හෙළිවී ඇති බවට දන්වා සිටියේය.

මේ අනුව එම සිවුදෙනාගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් හොරගොල්ල වලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති ජංගම දුරකථන කුලුනු හරහා එම දින.වැඩි වේලාවක් දුරකථන සංවාදවලට අදාළ දුරකථන අංක අනුව වැඩිදුරටත් පරික්ෂණ පවත්වාගෙන යන බවද උපපොලිස් පරික්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු දැක්වීම්වලින් අනතුරුව ඒ පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ඊළග දිනයේ අධිකරණයට සවිස්තර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. නැවත කැඳවීම ජූලි මස 18වැනිදාට කල් තැබිණ.



(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි)