Basil-Rajapaksa-an-American-is-allowed-to-hold-a-ministerial-post-violating-the-sovereignty-of-Sri-Lanka

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය,

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන මාර්තු මස 16 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට පෙත්සම්කරුවන්ට ඊයේ (07) යළිත් නියෝග කළේය.  සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම ඊයේ (07) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග්‍ය කෙරිණි.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති  උලපනේ සුමංගල හිමි, බරපතළ වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති  කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටින්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයාය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ හා නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුලේ මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.  මුදල් අමාත්‍යවරයා ඇමෙරිකානු පුරවැසියකු වන අතර, වෙනත් රටක  පුරවැසියකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්,  එය ව්‍යවස්ථාව උල්ලංඝනය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වය උල්ලංඝනය වීමක් බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත.  මෙය දෙරට අතර බැඳියාවන් අතර ගැටුමක් සිදුවීමක් වන බැවින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත්,

මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ. දෙපාර්ශ්ව යේම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට  නොතීසි බාර දෙන ලෙසටහන් පෙත්සම්කරුවන්ට නියෝග කරමින් රිට් පෙත්සම යළි මාර්තු 16 වැනිදින කැඳවීමට නියෝග කළේය.

 -නිමන්ති රණසිංහ-