zoo-parrot

දෙහිවල ජාතික සන්නෝද්‍යානයේ සිටියදී මීට මාස 8කට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාලගිරවා  පෙරේදා (26) දින නැවත හමු වූ බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි.  කළුබෝවිල ප්‍රදේශයේ යුවළක් මෙම ගිරවා පෙරේදා (26) සවෝද්‍යානයට

  ගෙනැවිත් බාර දී ඇත. ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එහි සත්ව  පාලකවරයා පොත්පත්වලද  සටහන් යොදා එවකට සිටි අධ්‍යක්ෂවරියද දැනුවත් කර ඇති බව වාර්තා වේ.  මෙම ගිරවා පසුගිය මැයි මස 07 වැනි දින සිට අතුරුදන්ව ඇති බවත්, එම ගිරවා  සම්බන්ධයෙන් තොරතුරක් හෙළි නොවීම නිසා අලුතින් පත්වූ අධ්‍යක්ෂවරිය විසින් මීට  දින කිහිපයකට පෙර සිද්ධිය සම්බන්ධයෙන්  දෙහිවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද  කළාය.  

මේ අතර මෙම ගිරවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ගිරවාගේ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය විය.  එම ගිරවා මීට මාස කිහිපයකට පෙර කළුබෝවිල පිහිටි නිවසට එකවර පියාඹා ගොස් ඇති බවත් කිසිදු හිමිකරුවකු ගිරවා  සොයා නොපැමිණීම නිසා කළුබෝවිල නිවසේ දී ඇති දැඩි කර ඇති බවත් සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය.  ගිරවාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන්  මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් නිසා නිවසේ  සිටින්නේ සත්වෝද්‍යානයේ අතුරුදන්වූ නිල්  ගිරවා බවට සැකකර නිවසේ යුවළ ගිරවා සත්වෝද්‍යානයට නැවත බාර දුන් බවද එම ප්‍රකාශකයා කීවේය.

ගිරවා නැවත බාරදීමත් සමග සවෝද්‍යානය ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය දැනුවත් කිරීමෙන් පසු දෙහිවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ යුවළගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද ලබාගත් බව පොලිසිය පවසයි.

මේ අතර ඉකුත් සැප්තැම්බර් මස දිනක සත්වෝද්‍යානයේ කූඩුව විවෘත කළ අවස්ථාවේ ඉන් පියාඹා ගොස් සිටි නිල් මැකෝ වර්ගයේ ගිරවියකද රත්මලාන ප්‍රදේශයේ නිවසකින් පෙරේදා (26) සොයාගෙන ඇත.  මෙම ගිරවිය රුපියල් 30,000ක මුදලකට වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට එහි නිවැසියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි  වී ඇත.

සත්වෝද්‍යානයෙන් අතුරුදන් ගිරවෙකු රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරු අනුව සත්වෝද්‍යානයේ සත්ත්ව පාලකවරයා සහ පොලිසියේ කණ්ඩායමක් එම අදාළ නිවසට ගොස් ගිරවා සිය බාරයට ගෙන ඇත. එම ගිරවාද නැති වූ නිල් මැකෝ ගිරවිය බවට තහවුරු වූ බව සත්වෝද්‍යාන ආරංචිමාර්ග පවසයි. දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත මෙම සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.


 -ඉන්දිකා රාමනායක -