gampaha-wedding-covid19

ගම්පහ දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සව සහ සංගීත සංදර්ශනවලට සහභාගි වීමේදී කෝවිඩ් පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩ් කමිටුව තීරණය කර තිබේ.  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අංශවලට හා ආරක්ෂක අංශවලට උපදෙස් දුන් බවයි.  අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදීය. මිනුවන්ගොඩ කෝවිඩ් කමිටුව මිනුවන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කෝවිඩ් පූර්ණ එන්නත්කරණය ලෙස පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි යන මාත්‍රා තුනම සැලකිල්ලට ගන්නා බවත්, රට නැවත වසා දැමීමට නොහැකි බැවින් කෝවිඩ් පැතිර යාම වැළැක්වීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

රජය එම තීන්දු ගන්නේ සෞඛ්‍ය අංශ නිර්දේශවලට අනුව බවද හෙතෙම සඳහන් කළේය. කෝවිඩ් වැඩි වුණොත් රට නැවතත් රතු ලැයිස්තුවට ඇතුළත් වී රටට සංචාරකයන්  පැමිණීම නතර විය හැකි බවත්, එවැනි තත්වයක් මතු වුවහොත් ඩොලර් අර්බුදය  තවත් උග්‍ර විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ පොදු ස්ථානවලට ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත්, නීති කෙටුම්පත් අංශ ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසු අමාත්‍යවරයා ඊට සමගාමීව බූස්ටර් එන්නත ලබාදීම කඩිනම් කිරීමටද රජය කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ පාසල් මට්ටමින් බූස්ටර් එන්නත ලබාදෙන මධ්‍යස්ථානවලදී සවස්වරුවේ අදාළ ප්‍රදේශවාසීන්ට බූස්ටර් එන්නත ලබාදීමටද මිනුවන්ගොඩ කෝවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. පාසල් කටයුතුවලට බාධාවක් නොවන අන්දමින් එය සිදු කිර්මට උපදෙස් දුන් අමාත්‍යවරයා මිනුවන්ගොඩ සියලුම රාජ්‍ය ආයතනවල බූස්ටර් එන්නත ලබා නොගත් අයට සතියක් තුළ බූස්ටර් එන්නත ලබාදී අවසන්  කිරීමටද උපදෙස් දුන්නේය.  මීට අමතරව දරුවන් මගින් බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා දෙමවුපියන් උනන්දු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද එම රැස්වීමේදී තීරණය විය.


 -නවෝද්‍යා පවනි-