vaccine-data

කේතය හා යෙදුම සහිත එන්නත්කරණ කාඩ්පත ඉතා ඉක්මනින් ලබාදෙන බවත්, එම කාඩ්පතෙහි පූර්ණ එන්නත්කරණය යටතට බූස්ටර් එන්නතද ඇතුළත් වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.එම නිසා බුස්ටර් එන්නත ලබාගැනීම එන්නත්කරණ කාඩ්පතට අනිවාර්ය වනු ඇති බවත්, එය පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී අත්‍යවශ්‍ය වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. බූස්ටර් එන්නත ලබාදීම වඩා වේගවත් කිරීම සඳහා මෙරට සියලු පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කෙරෙන බවද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.



එමෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත්, ඒ සදහා සෑම කොට්ඨාසයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක්කරන ලෙසත්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සමඟ ඊයේ (06දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙමගින් ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ඉලක්කගත ජනගහනයට ලබාදීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට මෙරට ඉලක්කගත ජනගහනයෙන් 28කට බූස්ටර් එන්නත ලබා දී ඇනි අතර,

මේ මස අවසන් වනවිට ඉතා ඉහළ ප්‍රතිශතයකට එම එන්නත ලබාදීම අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. විශේෂයෙන් එළඹෙන 29වැනිදාට මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර වසරක් පිරෙන බවත්, ගත වූ එම කාලය තුළ එන්නත් මිලියන 45ක පමණ ප‍්‍රමාණයක් මේ වනවිට මෙරටට ගෙනැවිත් තිබෙන බවත් අමාත්‍යවරයා කීවේය.සෞඛ්‍ය ලේකම් මේජෙර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(නවෝද්‍යා පවනී)