upul-rohana-speaks

 පැතිරයන කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේ අදහස් පළ කර තිබේ.



මේ වන විට ඔමික්‍රෝන් ප්‍රභේදය තමයි ලංකවේ ප්‍රමුඛතම ප්‍රභේදය වෙලා තියෙන්නේ. මෙය ඉතාමත් වේගයෙන් පැතිරෙනවා. ඒ පැතිරෙන අය අතරින් එන්නත් ලබා නොගත් අය අතර බොහෝ බරපතළ රෝග තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතිනවා. එන්නත් මාත්‍රා දෙකම ගෙන බූස්ටර් මාත්‍රාවත් ලබාගත් අයට ඔමික්‍රෝන් වයිරසය ආසාදනය වුණත් බරපතළ රෝග තත්ත්වයන් ඇති වන්නේ නැහැ.

අනික අපි බූස්ටර් මාත්‍රාව ලබා ගන්න කියලා කොතෙක් දැනුවත් කළත් පළමු හා දෙවැනි එන්නත් ලබා ගන්න මිනිස්සු තුළ පැවති උනන්දු බූස්ටර් එන්නත ලබා ගැනීමේදී දක්නට ලැබෙන්නේ නැහැ. මේක මහා අවාසනාවක්. විශේෂයෙන්ම බිම් මට්ටමේ ජනතාව අතර මේ බූස්ටර් එන්නත සම්බන්ධයෙන් නොයෙකුත් මිථ්‍යා මතයන් ගොඩනැගී තිබෙනවා. ඒ මිථ්‍යා මතයන් වෙනස් කරන්න සෞඛ්‍ය අංශවලට ඉතාමත් අපහසුයි.

රට තුළ දක්නට ලැබෙන තවත් එක් අවදානම් සාධකයක් තමයි උද්ඝෝෂණ, පෙළපාළි, මහජන ඒකරාශිවීම් විශාල වශයෙන් සිදුවෙමින් පවතිනවා. රට තුළ ඔමික්‍රොන් වයිරසය පැතිර යන අවස්ථාවකදී ජනතාවට වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් සිදුවන්නේ ඔමික්‍රෝන් වයිරසය වේගයෙන් රට පුරා පැතිර ගිහින් නව ප්‍රභේදයන් බිහිවීම. මෙය ඉතාමත් භයානක තත්ත්වයක්.

රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට රට විවෘත කළා. රට විවෘත කළේ මිනිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හඳුන්වා දීලා, සෞඛ්‍ය උපදෙස් හඳුන්වා දීලා.

නමුත් අපට පැහැදිලිවම පේන දෙයක් තමයි මිනිසුන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත නොවන් බව. නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවට සඳහන් කර තිබෙන නිසා මුව ආවරණය පමණක් පලඳනවා. නමුත් බොහෝ දෙනෙක් ඒකත් නිවැරදිව පලඳින බවක් පේන්නේ නැහැ.

ඇතැම් දේශපාලන නායකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා අපට අද නිරෝධායන නීතිය පවා ක්‍රියාත්මක කරන්න බැරිවෙලා ති‌යෙනවා. මොකද මේවන විට එළිමහන් සංගීත ප්‍රසංග පවත්වන්න නිරෝධායන ආඥාපනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී නැහැ. නමුත් පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කරලා කියනවා සංගීත ප්‍රසංග සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර දීලා. නමුත් නිරෝධායන ආඥාපනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහෙම අවසරයක් තවමත් දීලා නැහැ.