grade-5-exam-issue

ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන තුනක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරුන් කර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ තුනක් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ඊයේ (23 වැනිදා) පැවසීය.





ගල්ගමුව යූ. බී .වන්නිනායක විදුහල් විභාග මධ්‍යස්ථානයේ දී සිසුවියන් පිරිසකට පිළිතුරු ලිවීම සඳහා ගුරුවරු උපකාර කළ බවට හා තවත් මධ්‍යස්ථාන කිහිපයක නියමිත කාලවේලාව ලබා නුදුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වේ. මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වෙනම කමිටුවක් පත් කර ඇත. ඊට අමතරව පළාත් සහ කලාප මට්ටමින් ද පරීක්ෂණ වෙන වෙනම පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා උපදෙස් දුන් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ප්‍රමාද වී ප්‍රශ්න පත්‍ර ලබා දුන් බව කියන නාගොඩ රාජකීය විදුහලේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමවුපියන් පිරිසක් නාගොඩ පොලිසියට ද පැමිණිලි කර තිබේ. මීට අමතරව බදුල්ලේ පාසලක පැවැති විභාග මධ්‍යස්ථානයේදීද ප්‍රමාද වී ප්‍රශ්න පත්‍ර ලබා දී ඇති බවද දෙමවුපියෝ චෝදනා කළහ.

මෙම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර සිසුන්ට අසාධාරණයක් සිදු වී ඇත්නම් අනිවාර්යයෙන්ම ඊට සාධාරණය ඉටු කරන බව ද ඒ මහතා කීවේය.



ගල්ගමුව යූ. බී. වන්නිනායක විද්‍යාලයේ සහ ගල්ගමුවේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලයේ සිසුන්ට විභාගය පැවැත්වූයේ ගල්ගමුව යූ. බී. වන්නිනායක විද්‍යාලයේදීය. සිරිමාවෝ විද්‍යාලේ සිසුහු එක් ශාලාවකත්, වන්නිනායක විද්‍යාලයේ සිසුහු තවත් ශාලාවකත් විභාගයට පෙනී සිටියහ. සිරිමාවෝ විද්‍යාලයේ දරුවන්ට විශේෂයක් කර වන්නිනායකයේ දරුවන්ට අඩු සැලකිලි දැක්වූ බව පවසමින් දෙමාපියෝ පාසල ඉදිරිපිට රැස්වී කලහකාරී ලෙස හැසිරුණහ. එය සමනය කිරීම සඳහා ගල්ගමුව පොලිස් නිලධාරීන්ද පැමිණි අතර එහිදී පොලිසිය හා දෙමාපියන් අතරද උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මේ අතර ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයේ අංක 2 ශාලාවේ ශිෂ්‍යත්ව විභාගය ලියූ සිසුන්ට පළමුවැනි ප්‍රශ්න පත්‍රය ප්‍රමාදව ලබාදී කාලසීමාව අවසන් වීමට ප්‍රථම පිළිතුරු පත්‍ර එකතු කරගත් බවත්, ඒවා එකතු කරගැනීමේදී සමහර දරුවන්ට පහර දී හිංසා සිදුකර ඇති බවත් පවසමින් දෙමාපියෝ පිරිසක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.