tiran-kanthi-maharagama

නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් ගත් තීරණයකට අනුව පසුගිය (21) මහරගම නගරයේ පොදු වැසිකිළිය  කඩා ඉවත් කිරීමට පියවර ගත්තේය.
එම අවස්ථාවේ හිටපු නගරාධිපතිනියක වන කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු තවත් පිරිසක් එම ස්ථානයට ගොස් පොදු වැසිකිළිය ඉවත් කිරීමට විරෝධය පළකර තිබුණි. 


පසුව එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා  බලහත්කාරයෙන් හිටපු නගරාධිපතිනියව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මහරගම නාගරික මන්ත්‍රිනි කාන්ති කොඩිකාරට අඩන්තේට්ටම් කර පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කළ එම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මහරගම
පොලිසියට නියෝග කළේය.



මහරගම නගර මධ්‍යයේ නව වැසිකිළි ගොඩනැඟිල්ලක් සකස් කරන තෙක් තිබෙන පැරැණි වැසිකිළි ගොඩනැඟිල්ල ඉවත් නොකරන ලෙසට මහරගම නගර සභාව මඟින් ඒකමතික තීන්දුවක් ගෙන තිබියදී නගර සභාපතිවරයා විසින් නව වැසිකිළි ගොඩනැඟිල්ලක් සකස් කිරීමට පෙර එම පැරැණි වැසිකිළි ගොඩනැඟිල්ල ඉවත් කිරීමට යෑමේදී මන්ත්‍රිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් ඊට විරෝධය දැක්වූ අවස්ථාවේදී නගර
සභාපතිවරයා විසින් ඇයට අඩන්තේට්ටම් කර පහරදී ඇති බවද පහරදීම හේතුවෙන් ඇය දින තුනක් රෝහල්ගතව සිට ඇති බවද සැකකරුට ඇප ලබා නොදෙන ලෙසද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් හෙට්ටිආරච්චි මහතා අධිකරණය හමුවේ පැවැසීය.



සැකකාර තම සේවාදායකයා ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන නගර මධ්‍යයේ ඇති පැරැණි වැසිකිළි ගොඩනැඟිල්ල ඉවත් කරමින් සිටින අවස්ථාවේදී තවත් පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණි කාන්ති කොඩිකාර නාගරික මන්ත්‍රිවරිය එම බැකෝ යන්ත්‍රයේ කුල්ල මතට නැඟ ඊට බාධා කර ඇති බවත් ඒ අවස්ථාවේදී නගර සභාපතිවරයා ඇය එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ ගත්තා මිස කිසියම් පහරදීමක්
සිදුකර නොමැති බවත් සැකකාර නගර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ විදුර පී. මංචනායක මහතා අධිකරණය හමුවේ පැවැසීය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සුනීතා නානායක්කාර, ආශා කහවත්ත යන නීතිඥවරියන් දෙදෙනාද පෙනී සිටි අතර විත්ති හා පැමිණිලි දෙපාර්ශ්වයේ නීතිඥයන් දැක්වූ කරුණු පිළිබඳව අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහරින ලෙසද සිද්ධිය සම්බන්ධයෙන් සමථ මණ්ඩල වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.