president-kandy
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පස්වරුවේ මල්වතු - අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසරට ආශිර්වාද ලබා ගනිමින් සුහඳ පිළිසඳරක නිරත විය.



පුරාවිද්‍යාත්මක වටිනාමක් සහිත ඓතිහාසික ස්ථානවල ආරක්ෂාවට සහ සංරක්ෂණයට රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා විසින් මහානායක හිමියන් දැනුවත් කෙරිණ.

මහානායක හිමියෝ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.

මල්වතු විහාර භූමියේ ඉදිකෙරෙන නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ
ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව අස්ගිරි ගෙඬිගේ රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වැඳ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ‍අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි නායක හිමිපාණන් වහන්සේ බැහැ දැකීය. උන්වහන්සේ සමග පිළිසඳරෙහි නිරත ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ සිදු කෙරෙන ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳ විමසා බැලීය.

අස්ගිරිය උඩුගම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ අනුනායක  අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපතිතුමා  ගෙනයන වැඩපිළිවෙළට අනුශාසනා කළහ.

ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

 

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය ජය පිරිත සඡ්ඣායනා කරමින් අස්ගිරි මහා විහාර මහා පිරිවෙණ වෙත පැමිණි ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළහ.

 

( ඡායාරූප : ශාමික වක්වැල්ල, ඩී. සමරකෝන්, රොෂාන්ත කිරිවත්තුඩුව - ජනාධිපති මාධ්‍ය අංශය)