police-chief-speaks

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය පුද්ගලයින් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි.


මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාක්ෂි රැස් කර විශ්ලේෂණය කරමින් තවදුරට ත් විමර්ශන සිදු කරන බව ය. සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන් නොමැති බව සහ විමර්ශන තවමත් මූලික අදියරේ පවතින බව ඔහු පැවසීය.



විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධ වැඩිදුර වාර්තා මගින් අධිකරණය වෙත දැනුම් දීමට ද නියමිත බව ඔහු සදහන් කළේ ය. පොලිස්පතිවරයා සඳහන් කළේ, මීට පෙර අවස්ථාවකදී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලත බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මාස 3ක කාලයක් විමර්ශන සිදු කොට ඊට අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව ය. එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද තරාතිරම නොබලා සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට තමා විසින් විමර්ශන අංශ වෙත නියෝග කළ බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.



පසුගිය 11 වන දා බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. එම පිරිස අතරින් ප්‍රධාන සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (ජන. 13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී ඇත. මෙම සැකකරුවන් අතර අදාළ ස්ථානයේ බෝම්බය තැබීමට වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබිණි‍.