cuba-que-covid19

කියුබාව තුළ එතරම් අරුමයක් නොවන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සදහා වන පෝලිම් COVID-19 වසංගතය හේතුවෙන් තවත් දරුණු මට්ටමකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව අද වනවීට එරට සවානා අගනුවර ඇතුළුව රටෙහි හැමතැනකදීම පාහේ මාවත් පුරා පාන් ගෙඩියේ සිට දන්තාලේප දක්වා පෝලිම් හටගෙන ඇතැයි පැවසෙයි.මෙහිදී මූලිකවම කියුබාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක නිසා එරට තුළ අවශය ද්‍රව්‍යවල හිගතාවක් ඇතිව තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පෝලිම් ක්‍රමයක් එරට තුළ හටගෙන තිබුණි. දශක ගණනක් පුරා පැවැති මෙය අද වනවිට එරට සංස්කෘතියේම අංගයක් බවටද පත්ව තිබේ.

කෙසේ වෙතත් COVID-19 වසාගතයේ බලපෑමෙන් එල්ල වූ ආර්ථික අර්බුදකාරී තත්වය ඇමෙරිකාවෙන් එල්ලවන සම්බාධක පීඩනයටත් වඩා අද වනවිට කියුබානුවන්ට දැනී තිබේ. 47 හැවිරිදි එ මිරන්ඩාද මෙලෙස පෝලිම හොදට හුරුපුරුදු තැනැත්තියකි."මම හැමදාකම රෑට මේ පෝලිම්වලට එනවා. මොනවා හරි මිලදී ගන්න. ඒත් ඒක ලේසි නැහැ.

අද අපිට කන්න මොනවා හරි හොයා ගත්ත ලොකු කැපකිරීමක් කරන්න ඒ වෙලා.” ඇය පවසයි.ඇය සදහන් කරන ආකාරයට එම පෝලිම වෙත ඇය පැමිණ ඇත්තේ රාත්‍රී 1.00ට පමණය. ඇයට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිව්වනවිට පසුදා පෙරවරු 12.00 පමණ වී ඇත. ඒ අනුව ඇය පැය 11ක කාලයක් මෙම පෝලිමේ සිට ඇත. ඇය මෙන්ම තවත් සිය ගණනක් වතුර බිංදුවක් හෝ නොමැතිව මේ පෝලිම්වල රැදී සිටිති.


"හැබැයි හිටියට පාඩුවක් නෑ. මොකද මට ඕන හැම දේම මම ගත්තා. හැබැයි තවත් ගන්න ඕන දේවල්වලට තවත් පෝලිමක ඉන්න වෙනවා.” මිරන්ඩා පවසා සිටියි.මෙහිදී ඇය තෙල් ලීටර් දෙකක්, කුකුල් මස් පැකට්ටු දෙකක්, පෙති කැපූ මස්වල්පයක් සහ පිරිසිදුකාරක දියර යනාදී දේ මිලදී ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට 2021 වසර වනවිට කියුබාවේ උද්ධමන අනුපාතය 70%ක් පමණ මට්ටමට පත්ව තිබේ. එසේම 2020 වසරේදී එරට ආර්ථික වර්ධනය 11%කින් කඩා වැටීමෙන් අනතුරුව අද වනවිට එය යළිත් 2%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව මෙම වසංගතයත් සමග කියුබාව වෙත දශක තුනකට පමණ පසුව ඇති වූ දරුණුම ආර්ථික අර්බුදය  උදාවී ඇතැයි පැවසෙයි.

විශේෂයෙන්ම අද වනවිට කියුබාවේ විදෙස් මුදල් සංචිතය දරුණු ලෙස පහළ වැටී තිබේ. වසංගතයට පෙරාතුව එරට ආනයන වියදම වූ ඩොලර් බිලියන 2ක, මේ වනවිට ඩොලර් මිලියන 11.2ක් දක්වා අඩු කිරීමට කියුබානු රජය පියවර ගෙන ඇත. ඒ ආනයනය සීමා කිරිමෙනි. රට තුළ දරුණු ආහාර හිගයක් මතුව ඇත්තේ ඒ හේතුවෙනි. එසේම පසුගිය මැයි මාසයේදී රජය නිකුත් කළ නිවේදනයකට අනුවද කියුබාවේ ආනයනය කිරීම 2009 වසරෙන් පසුව වාර්තා වූ පහලම අගයට පත්ව තිබේ. දූපත් රාජ්‍යයක් වන කියුබාව තමන්ට අවශ්‍ය භාණ්ඩ අතරින් 80%ක්ම ආනයනය කරයි. "භාණ්ඩ හිගය කියන්නේ කියුබාවට අමුතු දෙයක් නෙමෙයි. අපි දැන් අවුරුදු 60ක් තිස්සේ මේ විදියට පෝලිම්වල ඉන්නේ.”



යනුවෙන් පෝලිමක රැදී සිටින තවත් අයෙකු පවසා සිටියි. මෙලස පෝලිම් හේතුවෙන් කියුබාව තුළ ඇති වන ගැටුම්කාරී තත්වයන්ද ක්‍රම ක්‍රමයෙන් දරුණු වෙමින් පවතින බව සදහන් වෙයි. එහිදී තත්වය පාලනය සඳහා මේ සෑම පෝලිමක් වෙතම ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයන්ද යොදවා තිබෙනු දැකගත හැකිය. විශේෂයෙන්ම කියුබාව ඇතුළුව මෙම කලාපයේ රටවල හිටපු නායකයන් පවත්වාගෙන ගිය කොමියුනිස්ට් සමාජවාදි පාලනය සහ අසල්වැසි ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් 1962 වසරේ සිටම ඇමෙරිකාව පාලනය කළ ජනපතිවරුන් යටතේ කියුබාව වෙත මෙලෙස දැඩි සම්බාධක පැනවීමක් සිදුව තිබුණි.

එය හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ තවත් වැඩි විය. මෙම මෙලෙස රට තුළ පවතින මෙම ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගතාව සහ මෙම පෝලිම් සංස්කෘතිය මගහැරවීම සඳහා සිදුකළ යුතු හොදම දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම බව කියුබානු රජය සදහන් කරයි. කෙසේ වෙතත් එරට ක්‍රියාත්මක ප්‍රතිපත්ති ඒ සදහා තවමත් ගැළපෙන ආකාරයෙන් සකස්වී නැත.කියුබානු පාලනය විසින් බොහෝ ව්‍යාපාර වෙත සීමා පැනවී තිබීම ඊට හේතුවයි. එසේම බොහෝමයක් ව්‍යාපාර රජය සතු ඒවා වෙයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදීමේ අරමුණින් අද වනවිට කියුබානු රජය එරට තුළ නව ව්‍යාපාර ඇති කිරීම සඳහා පොද්ගලික අංශය වෙත අවස්ථාවන් ලබාදීම් සිදු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.