maithripala-speaks

මාතලේ ද ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේ දී ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා  ඊයේ (4) මෙසේ පැවසීය.  

‘ජනවාරි මාසයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලැබුණා. ස්විප් එකක් ගත්තා ඒක ඇදිලා හයේ පාරක් ගහලා සුසිල් ප්‍රේමජයන්ති ගියා. මේවා සිදු කරලා ජනතා මතය වළක්වන්න බැහැ.

තනි පක්ෂයකට යළි ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. එම නිසා හොරුගෙන් දූෂිතයන්ගෙන් තොරව නව සන්ධාන ආණ්ඩුවක් යටතේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් නව ගමනකට නායකත්වය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්.


ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා සෑම ස්ථානයකම ඉන්නේ හොරු. ප්‍රාදේශීය සභාව වැලි පර්මිට් එකෙන් කොමිස් ගහනවා. පාර්ලිමේන්තුවට ගියාම ව්‍යාපෘතිවලින් හා ටෙන්ඩර්වලින් කොමිස් ගහනවා. පොහොට්ටුවේම පොලොන්නරුවේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කියනවා  සර් අර මන්ත්‍රීතුමාට සියයට අටක කොමිස් එකක් දෙන්න ඕන කියලා.
ඒ වගේ වැඩ තමයි සිදු වෙන්නේ. මේ රට වසර 73ක් තිස්සේ පාලනය කළ පිරිස් රට විනාශ කරනවා කිවාට එහෙම වෙන්නේ නැහැ. හොරුන්ට දේශපාලන පක්ෂ බේදයක් නැහැ. දූෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න අපි පෙළ ගැසිය යුතුයි. අද තියන තත්වය අනුව රට ඉතාම නරක තැනක තියෙන්නේ. ඉදිරියේ දී තනි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැහැ.
ඇතැම් පක්ෂවල නායකයෝ දැන් ඉදන්ම ජනාධිපති වෙලා ඉවරයි. ආණ්ඩු හදලත් ඉවරයි.

අපි අලුත් වැඩපිළිවෙළක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව අතරට යනවා. මේ රට ගොඩනගන්න ඕන. එදා විදේශ ප්‍රතිපත්තිය හොඳට තිබුණු රටක් දැන් ඒ තත්වය නැතිවෙලා. එදා 2014 වසරේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විට මහරජාණෝ පරද්දන්න බැහැ කිව්වා.  එදා මම ගිය ගමන හරි ද වැරදි ද කියලා අද ජනතාවට තේරිලා තියනවා. 19 සංශෝධනය කරලා විධායක බලතල අඩු කළා.

එදා 19 සම්මත කරගන්න ඡන්ද 125ක් ගත්තා. එදා යූඇන්පියේ නායකයෝ මහබැංකු මුල්‍ය වංචාව සිදු කරලා පක්ෂය නැත්තටම නැති කරගත්තා. එදා සිරිමා මැතිනි මන්ත්‍රී ආසන අටට බැස්සා. අද අපි මන්ත්‍රී ආසන 14ක් ගත්තා.

අද වන විට තෙල් මිල ඉහළ ගිහින්. අපේ රජයේ කාලයේ රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා. දේශීය කෘෂිකර්මය අද නැතිවෙලා. මම මහවැලි ඇමති වගේම කෘෂිකර්ම ඇමති කාලයේ කාබනික අධිකාරියක් ප්‍රථම වතාවට හැදුවා. අපේ කාලයේ පොහොර හිඟයක් තිබ්බේ නැහැ. අපි විදේශ සම්බන්ධතා හොඳින්ම ගොඩනගා ගත්තා. අද වන විට ඒ සියල්ල නැති වෙලා. ලෝක බැංකුව, අයිඑම්එෆ්, ආසියානු සංවර්ධන බැකුව, ජයිකා ආයතනය වැනි ආයතන සමග අප සුහදව කටයුතු කළා.
නමුත් අද ඒ සියල්ල නැවතිලා. රටකට විදේශ රටවලින් උදව්  කරන්නේ ඒ රටේ නායකයාගේ රූපය දෙස බලලා නොවේ. ඒ පවතින ආණ්ඩුවේ ප්‍රතිපත්ත හා සැලසුම් අනුවයි. එදා 18 වෙනි සංශෝධනය කරලා රාජාණ්ඩු ක්‍රමයක් හැදුවා. මම ඒක වෙනස් කළා.

එදා 19 වෙනි  සංශෝධනය අප හොඳ හිතින්  ගෙනාවා. නමුත් ඒ පිරිසුදු දේ කරන්න බැරි වුණා. එදා එම සංශෝධයෙන් විධායක බලතල තියන තිදෙනෙකු පත් වුණා.

අගමැති, ජනාධිපති, කතානායක. ව්‍යවස්ථාදායක සභාව මගින් රටේ වෙනම බලයක් ඇති වුණා. අද වන විට රටේ විවිධ ප්‍රශ්න රැසක් ඇතිවෙලා. ඒ තත්ත්වය මුදා ගැනීමට රටට නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්.
20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් මං කියනවා.‘