lpl-ipg

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (එල්.පී.එල්.) සංවිධායක (Event Right Holder) වශයෙන් කටයුතු කරන අයි.පී.ජී. සමාගමේ ඉල්ලීම මත අදාළ ගිවිසුම වසර 05කට එම සමාගමටම ලබාදීමට ශ්‍රී ලංකාව ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.  මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත 2021 සැප්තැම්බර් මස 29වැනිදා ලිපියක් යොමු කරමින් අයි.පී.පී. සමාගම් දන්වා ඇත්තේ,

ඔවුනටම එල්.පී.එල්. පළමු අදියරෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,4ක පාඩුවක් සිදුව ඇති බවත්, එහෙයින් එම පාඩුව ආවරණය කර ගැනීමට වසර 05ක් ගත වන බවත් දන්වා තිබේ.මෙහිදී තරගාවලියට අදාළ එම සමාගමේ ෆ්රැන්චයිස් ගිවිසුම (Franchise Agreement) වසර 05කට දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. මීට අමතරව අයි.පී.ජී. සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ගිවිසුම්ගතව ඇති තවත් ගිවිසුම් අලුත් කිරීමටද තීරණය කර ඇති බවද අනාවරණය වේ.මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසා සිටියේ, කිනම් හෝ පාර්ශ්වයක් තරගාවලිය සංවිධානය කීමට වෙනත් සමාගමක් ගෙන එන්නේ නම්

තමන් ඔවුන් සමග එල්.පී.එල්. තරගාවලිය සිදුකිරීමට සුදානම් බවයි. "අද තියෙන තත්වෙත් එක්ක කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ වගේ තරගාවලියක් සංවිධානය කරන්න. ඒ නිසා අපට දැන් තියෙන අයි.පී.පී. සමාගමත් සමගම කටයුතු කරන්න වෙලා තියෙනවා. කෙසේ වෙතත් මම ඕනෑම වෙලාවක සූදානම් වෙනත් පාර්ශ්වයක් සමග තරගාවලිය කරන්න” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

(පැතුම් ශ්‍රී විජේරත්න)