විදුලිබල මණ්ඩලය විදුලි බිල ගෙවීම ප්‍රමාද වන රත්නපුර ප්‍රදේශයේ පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීමෙන් පසු යළි විදුලිය සැපයීමට විදුලි බිලට වඩා රුපියල් තුන් දහසක සේවා ගාස්තුවක් ද ගෙවිය යුතුව ඇති බව විදුලිය පාරිභෝගිකයෝ පවසති. විදුලිබල මණ්ඩලයෙන් විදුලිය විසන්ධි කිරිමේ ලයිස්තු ලබාගන්නා විදුලි විසන්ධි කරන්නන් එමට පාරිභෝගිකයන්ගේ විදුලි මනුවෙත පැමිණ ප්‍රධාන පියුස් එක ගලවා යළි විදුලිය ලබාදීමට නම් ගෙවිය යුතු අවම ගාස්තුවට අමතරව රුපියල් තුන් දහසක් එකතුකර ගෙවා රිසිට් පත රැගෙන එන ලෙස දන්වන බව ද කියති. මෙසේ විදුලිය විසන්ධි කිරීමට වර්තමානයේ පැමිණනේ පෞද්ගලික මෑන් පවර් සමාගම්වල සේවකයන් බව විදුලිබල මණ්ඩලයේ සේවකයෝ කියති. එසේ පැමිණෙන විදුලි විසන්ධි කරන සේවකයන් රතු බිල් ඇති ඇතැම් විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි නොකර යන අවස්ථා ඇති බවද රත්නපුර ප්‍රදේශයේ පාරිභෝගිකයෝ කියති.
‘විදුලිය විසන්ධි කළොත් නැවත දෙන්න රුපියල් තුන්දාහක සේවා ගාස්තුවක් ගන්නවා. හිතවතුගේ විදුලිය විසන්ධි නොකර බිල් ගෙවන්න කියලා රිසිට්පත රැගෙන ආවාම රුපියල් පන්සියයක් දාහක් අතයටින් අරගෙන මේ සේවකයන් යනවා. එන්නේ තනියම. යතුරුපැදියකින් තමා එන්නේ. මේ විදියට විදුලි විසන්ධි කිරිමේ පෞද්ගලික අංශ සේවකයන් විසින් පාරිභෝගිකයන් ලොකු අසීවරුවකට පත් කරනවා. ඉස්සර විදුලිය විසංධි කළොත් නැවත් දෙන්න ගත්තේ දාහයි. එය සියයට 300 කින් වැඩි කිරීම අසාධාරණයැයි' විදුලි පාරිභෝගිකයෝ කියති. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් විමසූ විට මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ විදුලිය විසන්ධිකර නැවත විදුලිය ලබාදීමට ගෙවන සේවා ගාස්තුවලින් කොටසක් එම සේවකයින්ගේ සේවාව ලබාදෙන මෑන්පවර් සමාගමට දෙන බවයි.
වැඩිපුර විසන්ධි කරන තරමට ඔවුන්ගේ දීමනාව වැඩි වන නිසා ඔවුන් රතු බිල් ඇති විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව ඔහු කීව්වේය. මේවා විදුලිබල මණ්ඩලයේ ඉහළින් ආ ප්‍රතිපත්ති තීරණ නිසා ඒවා වෙනස් කළ යුත්තේ එම ප්‍රතිපත්ති තීරණ ගත් අය විසින් ම යැයි ද එම ප්‍රකාශකයා කීවේය.
-අපිත්ලාල් ශාන්තඋදය--
Comments
Post a Comment
Your comment will be visible after approval