borella-church-bomb

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් තැබූ බවට සැකපිට පොලිසිය මීට ඉහත අත්අඩංගුවට ගෙන තිබුනේ බෝම්බය දැකබියට පත්වූ දේවස්ථාන සේවකයාය.ඒ ගැන අගරදගුරු තුමන්ද විවේචන සිදු කළ පසු ඊයේ පොලිසිය පැවසුවේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවයි.


සීසීටීවී දර්ශනවල පල්ලියට ඇවිද එන්නෙකු ලෙසද දිස්වූ මෙම පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය දන්වා ඇත.
පොලිසිය පවසන්නේ අල්ලාගත් සැකකරු ප්‍රශ්න කිරීමේදී එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයි ප්‍රකාශ වූ බවත්  මුදල් ලබාදුන් පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු බවට කරුණු හෙළිව ඇති බවත්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහල ජාතිකයකු වන  බවත් රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව සැකකරුට බෝම්බය ගෙනත් දැමීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් ලබාදී තිබෙන බවත් එම මුදල ලබාදී ඇත්තේ මුස්ලිම් ජාතිකයකු බවත් පොලිසිය විස්තර කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සිදුවන බව දන්වා ඇත.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සුරුවමක් අසළ සූක්ෂම ලෙස සවිකර තිබූ මෙම බෝම්බය රබර් පටි, හඳුන්කූරු, ගිනිකූරු හා සෙලෝටේප් යොදා පිපිරවීමට උත්සහා දරා තිබූ බවද පොලිසිය කීවේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතඅත්අඩංගුවට ගත්තේ
දේවස්ථානයේ මාස නවයක කාලයක් රැඳී සිටිමින් සේවය කරන මරදාන ප්‍රදේශයේ 56 හැවිරිදි මුණි නමැති පුද්ගලයෙකි. එම දේවස්ථානයේම රැඳී සිටි 13 හැවිරිදි දරුවකු යොදවා බෝම්බය රඳවන ආකාරය අනාවරණය වූ බව පොලිසිය සඳහන් කර තිබූ අතර සැකකරුගේ කාමරයේ තිබූ ගිනි පෙට්ටියක කූරු අඩුවීමෙන් ඔහු විසින් බෝම්බය සෑදූ බව තහවුරු වන බවත් ඒ සඳහා යොදාගත් සොලෝටේප් ආදිය ද එම කාමරයේ තිබී හමුවූ බවත් පොලිසිය පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් නිවැරැදි විමර්ශනයක් සිදුකර නැතැයි පවසමින් කාදිනල් හිමියන් විසින් පසුගිය දා පොලිසියට දැඩි දෝෂාරෝපණයක් ද එල්ලකර තිබිණි.