Sabaragamuwa-University-student-falls-ill-and-dies-while-climbing-mountain

සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුවකු කතරගම වන්දනාවේ පැමිණ වැඩසිටි කන්ද නගිමින් සිටියදී පෙරේදා (25) පස්වරු 2.30ට පමණ හදිසියේ අසනීප වී කතරගම රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, 

උසුමුදුලාව, 55 කණුව අසල පදිංචි අරුමානන්ද සලිත දිල්ෂාන් කුමාර නමැති 28 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවා සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන් 19 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇත්තේ පෙරේදා (25දා) උදේ බව පොලිසිය කියයි.  මෙම පිරිස පා ගමනින් වැඩසිටි කන්ද නගිමින් සිටියදී උඩමළුව ආසන්නයේදී මෙම සිසුවා වමනය කිරීමට පටන් ගෙන අසනීප බව පැවසීමත් සමඟ අනෙකුත් යහළුවන් මොහු ඔසවාගෙන උඩ මළුවට ගොස් ඇත.

මේ බව වැඩසිටිකන්ද විහාරාධිපති හීල්ලේ ඤාණානන්ද හිමියන්ට දැනුම් දීමත් සමගම වහාම කැබ් රථයකින් පහත මළුවට රැගෙන ගොස් තිබේ.

  එම ස්ථානයට 1990 ගිලන් රථයක් ගෙන්වා කතරගම රෝහලට රැගෙන ගොස් වෛද්‍යවරුන් පරික්ෂාවට ලක් කිරිමේ දී සිසුවා මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ. අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවගෙන් ප්‍රකාශ ලබා ගත් පොලීසිය පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා දෙබරවැව මූලික රෝහල වෙත සිරුර යවා ඇත.  කතරගම පොලිසියේ කොස්තාපල් 47550 ජයලත් මහතාගේ සාක්කි මෙහෙයවීම යටතේ කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (26) පැවති මරණ පරික්ෂණයේදී වම් වකුගඩුවට රුධිරය ගමන් කරන නාලිකාව පිපිරි අභ්‍යන්තරයට රුධිරය වහනය වීම නිසා සිදුවී ඇති මරණයක් බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් කුමාර විදානගම මහතා නිකුත් කර ඇති වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබිණි.