වසර අසූදහසකට පෙර මෙරට ඇති වූ උල්කාපාත වර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස් මඩොල්සිම හා රිලාඋළු කඳු පාමුල ලුණුගල වෙල්යායක අඩි අසූවක් යට මැණික් පතලක මිහිදන්ව තිබෙන බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසයි. ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලුණුගලගම මළඅමුණ වෙල්යායේ අඩි අසූවක් ගැඹුර මැණික් පතලකින් 1996 වසරේදී පතකරුවන්ට විශාල සත්ව හිස් කබල් සහිතව හමු වූ පොසිල පිළිබඳ විද්‍යාඥයන් සිදු කළ පරීක්ෂණයකින් පසු ඒවා ප්ලයිස්ටෝනසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිස් කබල් ඇතුළු අස්ථි කොටස් බවට හඳුනාගෙන තිබේ.
මෙවැනි පෞරාණික වටිනාකමක් ඇති සත්ව කොට්ඨාසයක තොරතුරු හමුවී වසර 26ක් ගෙවී ගියත් ඒවා සියල්ල ගොඩට ගැනීමට මෙම කටයුතුවලට අදාළ කිසිම රාජ්‍ය ආයතනයක් හෝ කිසිවකු මෙතෙක් ඉදිරිපත් නොවුණු බව ප්‍රදේශවාසීහු කියති. සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා සත්ව පොසිල සම්බන්ධයෙන් මෙසේද පැවසීය. 1996 වර්ෂයේ ලුණුගල මැණික් පතල් කැණීමකදී හමුවී තිබූ සත්ව හිස් කබල් හා පොසිල පිළිබඳ නිරික්ෂණය කරන්න මමත් එවකට සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතාත් ඇතුළු පිරිසක් සමග එතනට ගියා. අපි යන විටත් විශාල වැස්සක් ඇවිත් මැණික් පතල් වැසී තිබුණා. එම පතලේ අඩි 82ක් ගැඹුර පොළොව යට විශාල සත්ව හිස් කබල් දෙකක් සමග පොසිල හමුවීම තිබෙනවා. ඒවා ගොඩට ගන්න අපහසු නිසා එහි ඒ කම්කරුවන් විශාල හිස් කබලේ තිබූ දත් කිහිපයක් ගලවාගෙන ගොඩට ගෙනත් තිබෙනවා. එම දත් කිහිපය අපි කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයෙනුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනුත් පරික්ෂණාවට ලක් කළා.
එම පරීක්ෂණවලට අනුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්ය මොහාන් අබේරත්න මහතා සිදුකළ පරීක්ෂණවලිනුත් දැනට වසර 80,000කට පෙර ශිලා යුගයටත් පෙර තිබූ ප්ලයිස්ටෝසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස් නමැති කඟවේනාගේ පොසිල බවට හඳුනා ගත්තා. එම පොසිල හොඳම තත්වයේ තිබුණා. නමුත් එතන තිබුණ පාරිසරික පිහිටීමත් සමග ඉතිරි කොටස් ගොඩට ගන්න බැරි වුණා. මෙම ප්‍රදේශයේ වසර අසූදහසකට පෙර වැසි වනාන්තරවලින් සමන්විත පරිසරයක විශාල සතුන් ජීවත් වූ බව කිව හැකියි. හමුවූ පොසිල කාන්තා හා පිරිමි සතෙකුගේ බවට පරීක්ෂණවලින් තහවුරු වුණා. උල්කාපාත වර්ෂාවකින් සතුන් මිය යන්නට ඇතැයි හිතනවා.
මැණික් පතල හිමිකරු මොහොමඩ් කාසිම් මහතා ,
"1996 වර්ෂයේ මගේ ඉඩමේ මැණික් පතලක් කැපුවා. අඩි අසූවක් පමණ ගැඹුරට උදැල්ලෙන් පස් කපලා මැණික් ඉල්ලම් සොයා ගත්තා. ඉල්ලම කණින අවස්ථාවේ විශාල සත්වයකුගේ හිස් කබල් කිහිපයක් සමග අස්ථි කොටස් හමුවුණා. අපි හිස් කබල තිබූ එම සතාගේ දත් කිහිපයක් ගැලෙව්වා. ප්‍රදේශයේ විශාල පිරිසක් දැක බලා ගන්නත් ආවා. දින දෙකකින් එදා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ශිරාන් දැරණියගල මහතා ඇතුළු පිරිසක් ආවා. ඒත් එක්කම මහ වැස්සක් ඇවිත් පතල්වල නාය යෑමකින් වැසී ගියා. මෙතන හාස්කමක් තියෙනවා. වැඩක් කරන්න ගියාම මහා වැස්සක් ඇවිත් වළ වැසී යනවා. සතුන්ගේ අස්ථි ඇතුළු හිස් කබල් විශාල ප්‍රමාණයක් යටවෙලා තියෙනවා. මෙහි තිබූ අස්ථි කොටස් දැරණියගල මහතා ඇතුළු පිරිස අරන් ගියා. එයින් පසු කතා කළේ නෑ. මෙවැනි පෞරාණික සතුන්ගේ පොළොව යට තිබෙන එම අස්ථි කොටස් ගොඩට ගෙන සංරක්ෂණය කළ යුතුයි."
ප්‍රදේශවාසී ටී.එම්. ආරියපාල මහතා මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙසේ පැවසීය.
ලුණුගලගම ඉඩමක පතල් වළක තිබී හමුවූ විශාල සත්ත්වයාගේ අස්ථි කොටස් දැක බලා ගැනීමට ඒ කාලේ දිවයිනේ හැම තැනින්ම විශාල පිරිසක් ආවා. මේවා ගොඩට ගත යුතුයි. ඉතිහාසය පොළොවට යට වී තිබෙනවා. වෙනත් ප්‍රදේශවල මෙවැනි පුරාණ සතුන්ගේ හමුවන පොසිල පිළිබඳ පරික්ෂණ කළත් ලුණුගලින් හමුවූ පොසිල ගොඩට ගත්තේ නෑ. මේවා ගොඩට ගන්න."
-ප්‍රසන්න පත්මසිරි--
Comments
Post a Comment
Your comment will be visible after approval