Details-about-the-70-million-fraud-suspect-who-jumped-from-the-4th-floor-of-the-CID-yesterday-after-55-years

රුපියල් කෝටි 7කට ආසන්න මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවනු ලැබ සිටි කාන්තාවක එම ගොඩනැගිල්ලේ 4 වැනි මහලින් පැන සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි.මෙම කාන්තාව ඊයේ අලුයම එහි වැසිකිළියට  ගොස් සිටියදී වැසිකිළියේ ජනේලයෙන් බිමට පැන ඇති බවත්, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ පන්නිපිටිය, අරලිය මාවතේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ අප්සරා මැණිකේ රාජපක්ෂ නමැති (46) කාන්තාවක බව ද ඔහු කීවේය.  



අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් 2016 වසරේ සිට තැන තැන සැඟව සිට ඇති මෙම සැකකාරිය කළුබෝවිල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරට අනුව ඇය පෙරේදා (10) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.  සැකකාරිය කාන්තා ණය දෙන සමිතියක් පවත්වාගෙන යමින්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ බව කියමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවස්ථා කිහිපයකදීම රුපියල් හයකෝටි අසූපන් ලක්ෂ හතළිස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්, එම බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය. මෙම සැකකාරිය වැල්ලම්පිටිය, අංගොඩ හා රාජගිරිය යන ප්‍රදේශවල දුප්පත් කාන්තාවන්  සඳහා ණය දෙන සමිති ආරම්භ කරමින් ඔවුන්ට රුපියල් 50,000 ක ණය මුදලක් උකස් හා ආයෝජන බැංකුවෙන් ලබාගත හැකි බව පවසමින් මෙම වංචාව සිදුකර ඇති බව ද හෙතෙම කීය.



මෙම ණය මුදල වෙනුවෙන් ඇය ව්‍යාජ  ලේඛන සකස් කර එම බැංකුවෙන් රුපියල් ලක්ෂ 10, 12, 15 වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත්, ණය ඉල්ලුම් කළ ඉල්ලුම්කාරියට එම මුදලින් රුපියල් 50,000ක පමණ මුදලක් ලබා දී ඉතිරි මුදල ඇය වංචා කර ඇති බවත් පරික්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය. මෙම වංචා සම්බන්ධයෙන් ඇයට එරෙහිව පැමිණිලි 48 ක් ලැබී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම කාන්තාව භාවිත කළ දුරකතන අංක, හැඳුනුම්පත් ආදිය ව්‍යාජ ලේඛණ භාවිත කරමින් සකස් කර ඇති හෙයින් ඇය වසර කිහිපයක් පුරා තැන් තැන්වල සැඟව සිටියද අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද ඔහු කීවේය.  වංචා කළ මුදල් භාවිත කරමින් ඇය වසර කිහිපයක් තිස්සේ විවිධ ස්ථානවල රැඳී සිටිමින්, ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව ද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෙම කාන්තාව පස්වන මහලින් පැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මෙදින මෙම කාන්තාවන්  බාරව සිටි පොලිස් නිලධාරිණියන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම නිලධාරිනියන් අතින් යම්  නොසැලකිලිමත් බවක්, නොසලකා හැරීමක්, වැරැද්දක් සිදුව ඇති බවට පරීක්ෂණවලදී  හෙළිවුවහොත් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ   මෙවැනි සිදුවීමක් මීට වසර 55 කට පෙර 1966 වසරේ අප්‍රේල් 15 වැනිදා වාර්තා වී ඇති බවත්, රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවකු වශයෙන් රත්නපුරයේදී අත්අඩංගුවට ගත් දොඩම්පෙ මුදලාලි නමින් ප්‍රසිද්ධව සිටි තැනැත්තෙකු හතරවැනි තට්ටුවෙන් බිමට වැටී මියගොස් සිටි බව ලේඛනවල සඳහන් වේ. එම මරණයෙන් පසු අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ 04 වැනි තට්ටුව සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථිකාවක් ද ගොඩනැගුණ බව ද වාර්තා වේ.   කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේස්කර මහතාගේ අධීක්ෂණය යටතේ කොටුව  පොලිසියේ විශේෂ කණ්ඩායම් දෙකක් ද මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිසිය කියයි. මෙම කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණ කොළඹ ජාතික රෝහලේදී ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි.


 -ඉන්දිකා රාමනායක-