මේ මස 27වැනිදා සපුගස්කන්ද පිරිපහදුව නැවත විවෘත කරන බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ සිදුකළද, සිංගප්පුරු සමාගමෙන් ඇනවුම් කර තිබෙන බොරතෙල් තොග නැවට පැටවීමවත් මෙතෙක් කටයුතු ආරම්භ කර නොමැති බවත්, මේ නිසා නියමිත දිනට පිරිපහදුව ආරම්භ කිරීමට නොහැකි වන බවත් තෙල් විදුලි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි.

බොරතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් සිංගප්පුරු සමාගමකින් ඇනවුම් කර තිබෙන බවත්, අදාළ තොගය නැවට පැටවීම  සඳහා දින තුනක කාලයක් හා අදාළ නැව මෙරටට පැමිණීමට

දින හතක කාලයක් ගත වන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

මීට අමතරව අදාළ නැව මෙරටට පැමිණි පසු බොරතෙල් ගොඩ බෑමටත් දින කිහිපයක් ගත වන බවද ඒ මහතා පවසා සිටියේය.  

පසුගිය 09වැනිදා මෙරටට පැමිණි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක ප්‍රමාණය හා 11වැනිදා පැමිණි ගුවන්යානා ඉන්ධන මෙට්‍රික්ටොන් 30,000 ප්‍රමාණයවත් මෙතෙක් ගොඩබෑමට කටයුතු කර නොමැති බවත්, මේ නිසා ඉදිරියේදී ඉන්ධන අර්බුදයකට මුහුණුදීමට සිදුවන බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.

පිරිපහදුව නවතා දැමීම නිසා භූමිතෙල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය ඇන හිට තිබෙන බවත්, මේ නිසා ඉදිරියේදී භූමිතෙල් වෙනුවට ලබාදීමට සිදුවන්නේ ගුවන්යානා ඉන්ධන බවත් හෙතෙම සඳහන් කළේය.

පිරිපහදුව නවතා දැමීමත් සමග ගෑස් නිෂ්පාදනය දැවිතෙල් නිෂ්පාදයන, ලෝ සල්පර් නිෂ්පාදනය, ගුවන්යානා ඉන්ධන,   නැප්තා ඉන්ධනය, තාර නිෂ්පාදනය හා ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් නිෂ්පාදනයත් ඇන හිට තිබෙන බවත් ආනන්ද පාලිත මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම සඳහා තෙල් සංස්ථාවට ඩොලර් ලබාදිය යුතු බවට තෙල් සංස්ථා බලධාරීන් ප්‍රකාශ සිදුකළද,

විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම සඳහා අත්සන් කර තිබෙන ගිවිසුම තුළ එවැනි නීතියක් සඳහන් කර නොමැති බවත්, පවතින ගිවිසුමට අනුව අඛණ්ඩව විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට තෙල් සංස්ථාව බැඳී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින නීති රීතිවලට අනුව විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට හෝ තෙල් සංස්ථාවට ඉන්ධන හෝ බොරතෙල් ගෙන්වීමට මුදල් අර්බුදයක් තිබෙනවා නම්, එය විසඳිය යුත්තේ, මහා භාණ්ඩාගාරය විසින් බවත්, එහෙත් අදාළ ප්‍රශ්නය අමාත්‍යවරුන් අතට ගැනීම තුළින් සිදුවන්නේ, ජනතාවට විදුලිය හා ඉන්ධන නොමැතිවීමේ ගැටලුවලට මුහුණුදීමට බවත් ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.