15-The-social-catastrophe-in-the-story-of-Tik-Tok-Saman-who-gang-raped-a-girl

ලෝකයම උමතු ගන්වා ඇති ‘ටික් ටොක්‘ නමැති චීන සමාගමකට අයත් ජංගම යෙදවුම මේ වනවිට තරුණ තරුණියන් අතර නිරන්තර භාවිතා වන්නකි. ස්මාර්ට් දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් සම්බන්ධවිය හැකි මෙම යෙදවුමෙන් තමන්ගේ කෙටි වීඩියෝ උඩුගත කර ඒවාට අන් අය දක්වන ප්‍රතිචාර රසවිඳීමට අවස්ථාව හිමි කර දි ඇත. මේ නිසා ටික් ටොක් ජනප්‍රිය චරිතද බිහි වෙමින් පවතී. මෙහි ඇතැම් අයට ජනප්‍රිය වීමට රඟපාන්න නටන්න ගයන්න විශේෂ දක්ෂතාවක්ද උවමනා නොවේ.
ඉදිරිපත් කරන විදිහේ අමුත්ත නිසාම තාවකාලික රැලි බිහි කරයි. ඇතැම් රටවල තරුණ පරපුර නාස්ති කරන නිසා ටික් ටොක් තහනම් කර ඇත.
ඉන්දියාවේ 2021 සිට ටික් ටොක් තහනම්ය. පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව හා ඇමරිකාව  අණ පනත් ගෙනවිත් තහනම් කිරීමට උත්සාහ ගෙන තිබෙන අතර සම්පූර්ණ තහනමට ලක්කර නැත. ඇතැම් රටවල අන්තර්ගතය පරීක්ෂා කර පළ කිරීම් වැනි කොන්දේසි සහිතව තහනම ඉවත් කර ඇත.



මේ වන විට ලංකාවටද ටික් ටොක් ‘කරදරකාරී‘ වී තිබේ. ජනවාරි 03 වැනිදා ටික් ටොක් උන්මාදයෙන් පෙළුණු ‘ටික් ටොක්හි ඩිලා‘ ලෙස ප්‍රකටව සිටි වැල්ලම්පිටිය, සේදවත්තෙ විසූ 17 හැවිරිදි අබ්දුල් ලතීෆ් නමැති තරුණයාගේ ඝාතනයක් ගැනද අසන්නට ලැබුණි.
ටික් ටොක්හි ‘කිරි සමන්‘ ලෙසින් ප්‍රකටව සිටි ඕෂධ නිලාන් නමැත්තෙක් බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධිය වාර්තාවූයේ පසුගිය සතියේය.
තලංගම  සූරිය මාවතේ පදිංචි කථාකිරීමේ නොහැකියාවෙන් පෙළෙන යුවළක් ජනවාරි මස 01 වැනිදා තම වයස අවුරුදු 15 තරින්දි නමැති දියණිය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. දියණියට කථාකරන්නට හැකි බව දක්වා තිබුණි.
පොලිසිය විමර්ශනයක් අරඹන්නට සූදානම් වෙද්දී ජනවාරි 02 වැනිදා සවස අතුරුදන්ව සිටි දැරිය නිවෙසට පැමිණියාය. ඒ බව පොලිසියට තොරතුරු ලැබුණ පසු විමසන්නට ගිය නිලධාරිනියන්ට බාල වයස්කාර තරින්දි ගේ හැසිරීමේ අමුත්තක්  හඳුනාගන්නට ලැබී තිබේ.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ 15 හැවිරිදි දැරිය දැඩි සේ මත්ද්‍රව්‍ය පානය කර සිටිනවා මෙන්ම දූෂණයකටද ලක්ව ඇති බවය.
පොලිසිය දිගටම ප්‍රශ්න කළ අතර
“කිරි සමන් අයියයි තව කට්ටියක් එක්ක ගියේ. ඒ අය මේ දේවල් කරා“ ඇය පවසා තිබේ.



 ටික් ටොක් චරිතයක් බවට නම් දැරූ කිරි සමන් ගේ නියම නම 24 හැවිරිදි  ඕෂධ නිලාන්ය. රාජගිරිය, කලපළුවාවේ වෙසෙන ඔහු ‘දෙරණ සිටි ඩාන්ස් ජෙනරේෂන් නෙක්ස්ට්‘ තරගාවලියටද එක්ව සිටි අයෙකි. එසේම මෑතක ‘හිරු සුපර් ඩාන්සර් තරගාවලියේ‘ අවසන් වටයද ඔහුගේ කණ්ඩායම නියෝජනය කර තිබුණි.කොළඹ කේරි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ‘කිංග් ඔෆ් කිංග්ස් ඩාන්සිං ස්ටාර්ස් ‘නමින් නර්තන ආයතනයකට සම්බන්ධව සිටියේය. ඔහුගේ නර්තන සගයන් මුණගැහෙන්නේ මෙම සමූහයේදීය. පෞද්ගලික ගුරුවරයකු ලෙසින් නර්තනය උගන්වන බවත් ටික් ටොක් ඔස්සේ විවිධාකාරයේ නර්තන  වීඩියෝ මුදාහැර තමන්ගේ කණ්ඩායමට පිරිස් එකතුකරගන්නා බවත් පැවසිණි.

පොලිසිය කිරිසමන් සොයා ගොස් ඔහු අල්ලාගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  මීට මාස දෙක තුනකට පමණ පෙරදි ටික් ටොක් රසිකාවියක ලෙස තරින්දි දැරිය තමා හඳුනාගත් බව පවසා තිබේ. තරින්දි දැරිය දැඩි සේ ටික් ටොක්  ඇබ්බැහිව සිටි බවටද මේ අනුව තොරතුරු හෙළි විය.
 වට්ස්ඇප් මඟින් ඔහු අමතා ඇති තරින්දි කිරිසමන්ගේ වීඩියෝ ‘මාරයි‘  කියා අගය කර ඇත. කිරි සමන් සම්බන්ධ කර ගැනීමට තරින්දිට උපකාර කර ඇත්තේ ඇගේ පාසලේ වැඩිමහල් මිතුරියකි. එම මිතුරිය මඟින් මට්ටක්කුලියේ තරුණයකු සහ රාජගිරිය, කලපළුවාවේ කිරි සමන් හඳුනා ගැනීමට තරින්දිට හැකිවිණි.

අනතුරුව තරින්දි, කිරි සමන් සමඟ රාත්‍රී කාලයේ සාදවලට ද ගොස් නර්තනයන් ඉදිරිපත් කිරීමටද යොමුවූ බව පැවසේ. ගොළු දෙමාපියන්ට බොරුවක් දන්වා නිවසින් පිටත්වන ඇය නරක ඇසුරෙන් මත්ද්‍රව්‍යවලටද ඇබ්බැහි වී තිබුණාය.
කිරි සමන් සමග දෙසැම්බර් මාසයේ මුලදී සාදයකට ගිය තරින්දි මුලින්ම ඔහු අතින් කෙළසීමකට ලක්වන්නේ මෙම අතුරුදන්වීමට පෙරදීය. එදින රාත්‍රී නිවසින් ගිය ඇය පසුදා අලුයම 4ට පමණ නිවසට ආ බව කියැවේ. නිවසියන් ඇය කියූ බොරුව ගැන වැඩිපුර සොයා නැත.එදා කිරි සමන් අයියා පමණක් නොව කිරිසමන්ගේ මිතුරෙකුද ඇයව කෙළෙසා ඇති බව ඇය පාපොච්චාරණය කළාය.


පසුව දෙසැම්බර් මාසයේ අගදීද මෙවැනි සාදයකට ගොස් පසුදා අලුයම ඇය නිවසට පැමිණියේ පෙර පරිදි ලිංගික හැසිරීම්වල නියැළීය. මේ කිසිවක් නිවැසියන්ට නොදැනෙන්ට ඇයට කළ හැකිවී තිබේ.
දෙමාපියන් අතර කලෙක සිට විරසකයක් තිබූ බවද මව හා පියා නිවසේ තට්ටු දෙකක වෙනම වාසය කළ බැවින් තමා ගැන සැලකිල්ල අඩුව තිබූ බවද ඇය දන්වා ඇත.

ඇගේ රහස්‍ය ගමන් බිමන් ගැන දෙමාපියන්ගේ නිසි සොයා බැලීමක් මුලසිටම තිබී නැත.
ජනවාරි 1 වැනිදා නිවසින් පිටව ගොස් දිනදෙකක්ම නිවසට නොපැමිණි නිසා නිවසේ අයට පොලිසිය යන්නට කල්පනා විය.
දැරියගෙන් සිදු කළ විමසීමේදී දෙහිවල සාදයකට එදින සහභාගී වූ බවත් කිරි සමන්ගේ මිතුරෙකු වන 21 හැවිරිදි මොහාන් නමැත්තාද හඳුනා ගැනීමට හැකි වූ බවත් පසු කැලණිය ප්‍රදේශයේ නිවෙසකට ගොස් කිරි සමන් හා මොහාන් සමග ලිංගිකව හැසිරුණ බවත් දන්වා ඇත. අධික වෙහෙස නිසා උදේ නිවසට එන්නට බැරිව ගොස් පසුව සන්ධ්‍යා කාලයේ නිවසට ගිය බවත් පවසා ඇති අතර නිවැසියන් සොයන බව දැනගත්තේ එම අවස්ථාවේ බවද පවසා තිබේ.

 දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළ විට ඇයගේ සිරුරේ මත්ද්‍රව්‍ය අඩංගු බවට හා දූෂණය ළුී ඇති බවට කරුණු අනාවරණය විය.
 කිරි සමන් නමැත්තා සමඟ තවත් පස්දෙනකු අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවයි. රාජගිරිය, කැලණිය, මට්ටක්කුලිය සහ පිළියන්දල යන ප්‍රදේශයන්හි මේ අය වාසය කළහ. බාලවයස්කාර දැරිය අපයෝජනය සම්බන්ධයෙන් වැරදිකරුවන් විය.

දැරියගේ සාදයට එක්වූ වයස අවුරුදු 19ක් සහ 23ක් වන තරුණියන් දෙදෙනෙක්ද මේ අතර සිටි බව පැවසිණි.දැරිය දූෂණය කිරීමට නවාතැන් පහසුකම්
සලසා තිබුනේ මේ කියන පිළියන්දල සහ කැලණියේ විසූ තරුණියන් දෙන්නාය.
බාල වයස්කාර දැරිය කෙලෙසූ බව කිරි සමන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  පිළිගත් අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.