yohani-parliament-geetha

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුනේ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් ගායිකා යොහානි ද සිල්වා පාර්ලිමේන්තුවට කැඳවා ඇයට විශේෂයෙන් උපහාරයක් ලබාදීමටයි.
මෙයට දින යොදා තිබුනේ පසුගිය 23 වනදාය. නමුත් පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රී සංසදය ගෙන ආ යෝජනාවකට අනුව සිදු කර තිබූ එම වැඩසටහන අවලංගු කිරීමට හදිසි තීරණයක් ගෙන තිබූ අතර එය අත්හැර දමන ලදි.
මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදු කර තිබුනේ නැත. අද දින හිරු ටීවී නාලිකාවේ ‘ඇත්ත‘ නමැති ප්‍රවෘත්ති වැඩසටහනට එක්වූ කාන්තා සංසදය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හා කලා ශිල්පිණී ගීතා කුමාරසිංහ මහත්මිය ඒ ගැන කතා කළාය.


ඇය කියා සිටියේ යොහානිගේ වැඩසටහන තීරණය ගන්නා අවස්ථාවේ හෝ එය අවලංගු කරන අවස්තාවේ තමන් නොසිටි බවයි. නමුත් එය අවලංගු කළ පසුව ඒ ගැන සොයා බැලූ බවත් එය මතභේදයක් මත සිදුව ඇති බව දැනගන්නට ලැබුණ බවත්ය.
ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ තමන්ගේ මතය නම් යොහානිට ගෞරව ලබන්නට තවත් ඕනෑතරම් වයසක් හා කාලයක් තිබෙන බවත් ඒ ආසන්න දිනවල ඉන්දියාවේ පද්ම ශ්‍රී සම්මානය දිනාගත් වජිරා චිත්‍රසේන මැතිණීය ඇගයීම මීට වඩා ප්‍රමුඛ කාර්යය කරගන්නට තිබූ බවකි.යොහානි දුටුවිට තමාගේ ළමා කාලය මතක් වන බවත් ඒ කාලයේ තමාද ‘කෝට්ටක් ‘ වගේ බවත් කියා සිටි ඇය යොහානි දැන් කෝටිපතිනියක් යයිද කීවාය.
උපහාර ලබාදීමේ ප්‍රමූඛතාවයට ලංකාවේ තවත් විශිෂ්ට ගණයේ කලාශිල්පීන් රැසක් සිටින බවද ඇය මතක් කළාය.