ප්ලාස්ටික් බටයකින් පහරදීමෙන් තුවාල ලැබු පාසල් සිසුවකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දුන් බව කියන ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණේ පවත්වන බව වේයන්ගොඩ පොලිසිය කියයි. වේගොඩ ප්‍රදේශයේ පාසලක සිසුවකු මෙසේ ගුරුවරයාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය 10 වැනි දා බව පොලීසිය සඳහන් කරයි. තාක්ෂණ විද්‍යා ගුරුවරයා තාක්ෂණ සිසුවාගේ කම්මුලට පහර දී දණ ගස්වා එස්ලෝන් බටයකින් අත්වලට පහර දී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. සිසුවාගේ මස්ගොබ වල පිපුරුම් තුවාල දක්නට ඇති බව ද පොලීසිය කියයි.
වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයකු එම පාසලේ ඉගෙනුම ලබන මෙවර උසස් පෙළ විභාගයට තාක්ෂණ අංශයෙන් පෙනී සිටීමට නියමිත සිසුවකු ඉකුත් 10 වන දින මෙසේ ප්‍රහාරයට ලක් කර ඇත්තේ පාසල තුළ දී බව මූලික පරික්ෂණවල දී හෙළි වී ඇත. ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ සිසුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර 07 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සිසුවාට පහරදුන් ගුරුවරයා හුඹුටියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි ද පොලීසිය පවසයි. පහර කෑමට ලක්වූ සිසුවා නිවසට පැමිණීමෙන් පසුව සිද්ධිය සම්බන්ධව සිය මවට පැවසීමෙන් අනතුරුව වේගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් කර වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පහර කෑමට ලක්වූ සිසුවාගේ අත්දෙකම දැඩි ලෙස තුවාල වී ඇති අයුරු දක්නට ඇති අතර අස්ථිවලට හානියක් සිදු වී ඇත් ද යන්න පිළිබඳ සොයා බැලීමට සිසුවාගේ දෑත්වල එක්ස්රේ ලබාගත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිසුවාට පහර දෙන අවස්ථාවේ පන්ති භාර ගුරුවරිය මැදිහත්ව එය වැළැක්වීමට දැඩි උත්සාහයක් දරා ඇති නමුත් එය ව්‍යාථ වී ඇති බවද අනාවරණය වී ඇති බව පොලීසිය කියයි. පහර කෑමට ලක්වූ සිසුවාගේ මව සිද්ධිය සම්බන්ධව මෙසේ පැවසුවාය. පුතා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ඇඳුම් ගලවන්න බැරුව හිටියා. මම ඇයි කියල අහපු වෙලාවෙ පුතා කිවෙ අත් දෙක ටිකක් හිරයි කියල. පස්සෙ ෂර්ට් එක ගලවල බැලුව. පුතාගෙ අත් දෙක හැම තැනම හොඳටම තුවාල වෙලා පේන්න තිබුණ. මම ඇහුව මොකද වුණේ කියලා.
පුතා කිව්ව මම පීරියඩ් එකක පන්තියේ හිටියේ නෑ කියල තාක්ෂණය උගන්වන සර් හොඳටම ගැහැව්වා කියලා. තාක්ෂණය වෙලාවෙ පන්තියේ හිටියේ නෑ කියලා විවේක කාලෙදී තමයි පුතාට පහර දීල තියෙන්නෙ. කෑම කාල අත සෝදල පන්තියට ආව වෙලාවෙ පත්ති කට් කළා කියල මෙයාට මුලින්ම කම්මුලට පාරවල් කීපයක් ගහල තියෙනවා. ඊට පස්සෙ දණ ගහපිය කියල එස්ලෝන් බටයක් අරගෙන අත් දෙකටම පාරවල් විස්සක් විතර ගැහුව කියල පුතා කිව්වා. පුතාට පහර දෙන අවස්ථාවේ පත්ති භාර මැඩම් එතැන ඉඳල තියෙනවා. මැඩම් කිව්වලු ගහන්න එපා කියලා. ඒ වෙලාවේ ඒ ගුරුවරයා මැඩම්ටත් හොඳටම බැණ, කිව්වලු මැඩම් කට වහගන්න, මම මුන්ව හදල පෙන්නන්නම්' කියලා.
පුතා අත්දෙක පිටි පසට කරගෙන සද්ද නැතුව බිම බලාගෙන හිටියලු ලජ්ජාවට. එත් ඒ ගුරුවරයා හොඳටම අර බටෙන් ගහගෙන ගහගෙන ගියාලු. වැරැද්දකට ළමයකුට පාරක් දෙකක් ගැහුවට කමක් නෑ. ඒත් මේ විදියට අත් පැලෙන්න තරම් පහරක් දෙන එක වැරදියි. පුතාගෙ අත්දෙක බලන්නවත් බෑ. එච්චරට තුවාල වෙලා. මම අම්ම විදිහට කොහොමද මේක දරා ගන්නේ.. ගෙදර ඇවිත් මට මුලින් ඔය විස්තරයක් කිව්වෙ නෑ. ෂර්ට් එක ගලවපු වෙලාවේ මම තුවාල දැක්කා. ඒ වෙලාවේ තමයි මට ඔය විස්තරේ කිව්වෙ. ගෙදරදී පුතාට වමනෙ ගියා. අපි බයවුණ නිසා ඉක්මනට පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාල පුතා රෝහලට ඇතුළත් කළා. මෙම සිද්ධිය සම්බන්ධව අප වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගෙන් කළ විමසීමක දී ස්ථානාධිපතිවරයා පවසා සිටියේ පහරදුන් සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත්ය.
-පුෂ්පකුමාර මල්ලවආරච්චි -
Comments
Post a Comment
Your comment will be visible after approval