two-weddings-same-day

උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අයත් පරිවාස භාරයේ හැදුණු
වැඩුණු දියණියන් දෙදෙනකු එකම දින විවාහ දිවියට පත්වීමේ අපූරු උත්සව අවස්ථාවක් උතුරු මැද පළාත්
ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩාටුගම සහතික කළ බාලිකා පාසලේදී 15 වැනි
දින පැවැත්විණි.



අතිනත ගත්තේ මඩාටුගම සහතික කළ බාලිකා පාසලේ හැදී වැඩුණු නිපුනි නිසංසලා සහ සාලියපුර යෙහෙළි
උපදේශක මධ්‍යස්ථානයේ සහ පරිවාස ස්ථාන කිහිපයක හැදී වැඩුණු එම්.ඩබ්ලිව්. ශානිකා යන දෙදෙනායි.



උතුරු මැද පළාත් පරිවාස හා

ළමාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මැදිහත්වීම මත මෙම තරුණියන් දෙදෙනාගේ අතිනත ගත් මනාලයන්
බවට පත් වූයේ ගල්නෑව රංජිත් සමන් කුමාර මහතා සහ කැකිරාව ඒෂාත් එරංග මහතා බව උතුරු මැද
පළාත් පරිවාස කොමසාරිස් එස්.සී. පෙරේරා මහත්මිය පැවැසුවාය.

උතුරු මැද පළාතේ සෑම පරිවාස කාර්යාලයකම නිලධාරීන් සහ දැරියන්ගේ සහභාගිත්වයෙන් මඩාටුගම
සහතික කළ පාසලේදී උත්සවශ්‍රී යෙන් විවාහ කටයුතු කෙරිණි. එම දෙපළගේම විවාහ ගිවිසගැනීමේ
සාක්ෂිකරුවා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අස්සන් කිරීම විශේෂත්වයකි.



එකම ස්ථානයක මංගල පෝරු දෙකක් සාදවා පෝරුවේ චාරිත්‍ර කිරීමෙන් අනතුරුව ජයමංගල ගාථා
ගායනා කරමින් මෙම සිවු දෙනා නව විවාහාදී දිවියට එක්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණු බව
මඩාටුගම සහතික කළ බාලිකා පාසලේ පාලිකාව වූ චන්ද්‍රා සෙනෙවිරත්න මහත්මිය පැවැසුවාය.

මාපිය රැකවරණ අහිමිව රජයේ නිවාසවල හැදී වැඩුණු දියණියන් තනි කිරීමකින් තොරව ඔවුන්ගේ රැකවරණය
ලැබුවා සේම ජීවිතයේ ඉදිරි කාලයද රැකවරණය ලබාදීමට පරිවාස හා

ළමා රක්ෂක අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් කැප කිරීම කළ බවත් මෙය අනෙක් දරුවන්ටද තමන් තනි
වී නැති බවට කදිම සාක්ෂියක් බව මහීපාල හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.


දඹුල්ල - කේ.කේ.ආරියදාස