ඔන්න එක ගමක හොරෙක් උන්නා. මේ හොරා තරුණ වියේ ඉඳන්ම හොරකමෙන් තමයි ජීවත් වුණේ. ඒ විතරක් නෙවෙයි, ඒ හොරා ඉන්න ගමේ හැමෝම දැනගෙන උන්නා හොරා ගැන. ගමේ කුමක් හෝ හොරකමක් වුණොත් හොරාට තමයි දඬුවම් දෙන්නේ. මා තවත් දෙයක් තියෙනවා. මේ ගමේ එක පවුලක් උන්නා. 

ඉතින් මේ ගෙදර ස්ත්‍රිය අර හොරා එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. හොරා බඩු හොරකම් කළ විට ස්ත්‍රියටත් ගෙනත් දෙනවා. හොරා සහ ස්ත්‍රියගේ සම්බන්ධතාවය ගැන ඇයගේ සැමියාවත් දැනගෙන උන්නෙ
නෑ. ඉතින් ඔන්න දවසක් හොරා ගමේ බොහොම උගත් කෙනෙක්ගෙ ගෙයක් බින්දා. ඉන්පස්සෙ ඒ බඩු ටික ඔහුගේ ගෙදරම සඟවා තැබුවා.
ඉතින් ඔන්න උදේ පාන්දරින්ම අර මිනිහා තමන්ගෙ බඩු හොරා විසින් ගන්නට ඇතැයි සිතලා තවත් පිරිසකුත් එක්ක හොරාගෙ ගෙදරට ගියා. ගිහින් මුළු ගෙදරම සෝදිසි කරලා බැලුවා.

මේ විදිහට මුළු ගේ ඇතුළෙම අවුස්ස අවුස්ස බලන විට ඔහුගේ නිවසේ තිබුණු බඩු ටික මේ
හොරාගෙ ගෙයි තිබිලා හමුවුණා.බඩු ටික හමුවුණා විතරයි සියලු දෙනාම හොරාට ගහන්න සූදානම් වුණා. එවිට හොරා මෙසේ කීවා."අනේ මම මේ බඩු හොරකම් කළේ නෑ. ඊයෙ රෑ මම කැලේ මැදින් එනකොට මේ බඩු ටික කැලේ තිබිලයි හම්බවුණේ. මම හොරකම් කරන එක නවත්තලා හුගක් කල්. අනේ මට නම් ගහන්න එපා. මම මේ හොරකම නම් කොහෙත්ම කළේ නෑ." ඉතින් මේ විදිහට හොරා බොරු කියමින් අඬන්න පටන් ගත්තා.. බඩු අයිති මිනිසා මෙසේ කීවා. "හොඳයි, උඹ බඩු ගත්තෙ නැත්නම් උඹ නිකන් කියන දේ අපට පිළිගන්න බෑ. අනිද්දාට මාසෙ පෝය. එදා උදේට උඹ කැලේ දෙවියන්ගේ ගහ ළගට එන්න ඕනෙ. උඹ කැලේ දෙවියන්ගේ ගහ ළඟ දිවුරලා කිව්වට පස්සෙ අපට හිතුණොත් උඹ ඇත්ත තමයි කියන්නෙ කියලා, උඹට නිදහස් වෙන්න දෙනවා." . දැන් ඉතින් මොකද කරන්නෙ? හොරා හොඳටම බය වුණා. ඔහු හනික අර සොර බිරිඳව සොයාගෙන ගියා. ගිහින් සියලු විස්තරේ කියා මෙසේ ද කීවා. "කැලේ දෙවියන්ගේ ගහේ බෙනයක් තියෙනවා. මම
අද රෑට ඒ බෙන්නේ කට ලොකු කරලා කොළ අතු වලින් වහලා තියන්නම්. ඔයා පෝය දවසේ උදෙන්ම ගිහින් ඒ බෙනය ඇතුළෙ හැගෙන්න. මම දිවුරලා කිව්වහම, "නරපණුවෝ, මම නුඹේ දිවුරුම බාර ගන්නවා" කියලා තුන් සැරයක්ම කියන්න. එතකොට බඩු අයිති මිනිහා මම කියන දේ පිළිගනියි."ඉතින් ඒ ගැහැනියත් ඒකට කැමැති වුණා. ඔන්න මාසෙ පෝය දවසත් ආවා. මේ හොරත් හැමෝම ඉස්සරහ තමන් හොරකම් නොකළ බවට අර කැලේ දෙවියන්ගේ ගහට අත තියලා දිවුරුවා.

බෙනය ඇතුළෙ හැංගිලා ඉඳපු අර ගැහැනිය, සොරා කියූ ලෙසම මෙසේ කීවා.
"නරපණුව, නුඹ නිදෝශයි."  හරි පුදුමයක්! ඔය විදිහට මේ ගහේ දෙවියන් කවදාවත් කතා කරලා තිබුණෙ නෑ. ඒ නිසා අර බඩු අයිති මිනිසාට
මේ වෙච්ච වැඩේ ගැන සැක හිතුණා. ඔහු ගහ වටේ ටිකක් විපරම් කරලා බැලුවා. ඔහු දැක්කා ගහේ බෙනය වටේම කපලා කොටලා අතුවලින් වහලා තියෙනවා. ඔහු හිතුවා හොරාගෙ කවුරුන් හෝ බෙනය ඇතුළෙ සැගවිලා ඇති කියලා. ඔහු මිනිසුන්ට මෙසේ කීවා. . "කැලේ දෙවියන්ට උපහාර කරන්න ඕනි. ඒ නිසා ගහ වට්ට වේලිච්ච කොළරොඩු ටිකක් දැම්මොත් හොඳයි."ඉතින් අනික් මිනිස්සුත් එසේ කළා. ඉන්පස්සෙ අර මිනිසා ගහ වටේට්ටම ගිනි තිබ්බා. දැන් ගහ වටේම ගිනි ගන්නවා. අර බෙනයටත් ගින්දර ඇවිළුනා. තමන් බෙනය ඇතුළෙ හිටියොත් තමන් ද පිච්චී මැරෙන බව සිතු ගැහැනිය ගින්දර ඇවිළුනු චීත්තය ද ගලවලා දාලා දුවන්න වුණා. මේ ලෙසට නරක අයට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන අය දුටු විට අද ද ඉහත පිරුළ කියනු ලබනවා.