thirukkovil-police-murder-update

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයාගේ මව තම පුතු ගැන සිදු කර ඇති ප්‍රකාශය අනුව එම සමූල ඝාතනය සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක හෙළිදරව්වක් සිදුවෙමින් පවතී.
වසර 8 ක් තිස්සේ පාදයේ පවතින අසනීපයකින් පීඩා විඳි පුතු අනෙක් පොලිස් නිලධාරීන් මෙන් කටයුතු කරන්නට බැරිව යාමෙන් මානසික පීඩනයකින් සිටි බවත් පසුව ඔහු ‘නිකමෙක්.. නිකං ඉඳන් පඩි ගන්නෙ‘ ආදී කෙනෙහෙලි කථාවලට ලක්වූ නිසා අන් අය සමග වෛරයෙන් පසුවූ බවත් හෙළි කර තිබේ.
මෙම සමූල ඝාතන සංසිද්ධිය එහි අවසන් ප්‍රතිඵලය විය හැකි බව මව කියයි. කෙසේ වෙතත් පුතුගේ ක්‍රියාව ඇය අනුමත නොකරන අතර එදින එවැන්නක් සිදු කිරීමට ඔහු යොමුවීම ගැන කම්පනයෙන් කථා කරන්නීය. එවන් දෙයක් එදා සිදු කරන්නට යන බව දැන සිටියා නම් කෙසේ හෝ කථා කර නවතන බවද කියා ඇත.


38 හැවිරිදි අවිවාහක පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී වටේටම වෙඩි තබා 4 දෙනෙකු ඝාතනය කිරීමේ සංසිද්ධියෙන් පසු වාහනයක නැගී පළා ආ අතර එසේ එද්දී ඔහුව නවතන්නට උත්සාහ දැරූ ලාහුගල මුරපොලේදී ඔහුට වෙඩි තබා තිබුණ නමුත් ඔහු බේරී නිවසට පළා විත් තිබුණි. අනතුරුව වහාම ගිනි අවි හා පතොරම් සමග පොලිසියට භාරවිය.
සිද්ධිය සම්බන්ධයෙන් මව සඳහන් කළ සම්පූර්ණ විස්තරය මෙසේය.

“2012 ඉඳලා පුතාගේ පාදයේ අසනීපයක් තියෙනවා. එයාට මෙඩිකල් නිසා යුනිෆෝම් අඳින්න බෑ. එයාට මුල ඉඳලම එක එක කෙනෙහිලිකම් වුණා පොලීසිවලින්. ප්‍රශ්න ඇති කරලා ඇති කරලා පොලීසියේ පිටු 7ක් ලියලා දීලා ඒක විභාග කරකර ගියා. පස්සේ ඒක අතහැරලා දාලා හිටියා පුතා.”

“සමන්තුරේ වැඩකරපු කාලෙත් දින 100ක නිවාඩුවක් නොදී තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. ‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාවට, නිකන් ඉඳන් කන්නේ’

වගේ කතා පොලීසියේ අනෙක් අය කියලා තියෙනවා. මත්පැන් ගන්නෙත් නෑ. ඔය පීඩනයෙන් අවුරුදු 8ක් හිටියේ.”

“අපිටත් දුකයි.. වෙච්ච ප්‍රශ්නයටත් දුකයි. අවුරුදු 38ට කිසි මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. ඒත් දරුවා කෝල් එකක් අරන් කිව්වා නම් අම්මේ..මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං වැඳලා කියනවා මගේ පුතාට.. රස්සාව දාලා ගෙදර එන්න මගේ මැණික කියලා. මට කිව්වේ නෑ.”

“පුතා පොලීසියේ වෙඩි තියන්න පටන්ගෙන කියලා ගෙදරට ආරංචි වෙලා පැයක් ගියේ නෑ පුතා ගෙදර ආවා. ඒ ආවේ මොනරාගල පොලීසියට භාරවෙන්න. මෙයා එනකොට ලාහුගලදි මෙයාට වෙඩි තියලා තියෙනවා. වැදිලා තිබුණේ නෑ. ගෙදරට ඇවිත් මට වැඳලා ගියේ. මුකුත් කිව්වේ නෑ. අපි කිව්වා මොනරාගලට යන්න එපා තවත් බාධාවෙයි ඇතිමලේ පොලීසියට යන්න කියලා.”