මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මාතලේ ඇතුළු නගර කිහිපයකට පැමිණි කාන්තාවන් රවටා ඔවුන් සතු රන් ආභරණ ලබා ගෙන රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලයකු කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේදී පෙරේදා (11 වැනිදා) අත්අඩංගුවට ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය කීවේය.
රන් ආභරණ වැඩියෙන් පැලඳ මාතලේ නගරයට පැමිණෙන කාන්තාවන් හඹා ගොස් සැකකරු ඔවුන් හා කුළුපග වී ඇත. පසුව මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් මැණික් ගල් පෙන්වා ඒවා ලබා දී රන් ආභරණ රැගෙන හෙතෙම පලාගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු කාන්තාවන් සමග කතාබහ කරන අතරතුර රන් ආභරණ පැලඳි තවත් කාන්තාවක ද පැමිණෙයි. එම කාන්තාව ද අදාළ ස්ථානයට පැමිණ කතාබහ කරයි. පසුව ව්‍යාජ මැණික් ගල් පෙන්වන අවස්ථාවේදී සැකකරු සමග පැමිණි කාන්තාව මැණික් ගල් රැගෙන ඇයගේ රන් ආභරණ ගලවා සැකකරුට ලබා දෙයි. ඊට රැවටී අනෙක් කාන්තාවන් ද සිය ආභරණ ගලවා සැකකරුට ලබා දී ව්‍යාජ මැණික් ගල් ලබා ගෙන ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙසේ ලබාගත් රුපියල් ලක්ෂ 20ක වැඩි වටිනාකමින් යුත් රන් පවුම් 18ක් පමණ කිරිබත්ගොඩ හා නිට්ටඹුව ප්‍රදේශවල ජුවලරි මධ්‍යස්ථාන වෙත විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය පැවසීය. ප්‍රධාන සැකකරු කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් පොල් ලී වෙළදාමේ නිරත වන අයකු බවද පොලිසිය කීවේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයෙන් පැමිණිලි හයක් පමණ ලැබී ඇත. මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන ඇතුළු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගත්හ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල, මොරේතැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි. එම සැකකරු මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගැමුණු ධර්ම ශ්‍රී හේරත් - මාතලේ
Comments
Post a Comment
Your comment will be visible after approval