sarath-chandrasiri-passed-away
ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මහතා ඊයේ රාත්‍රී  කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.මියයන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය.
ටික කලෙක සිට අසනීප තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ඔහු ප්‍රතිකාර ලැබුවේ මොළයේ අභ්‍යන්තර රුධිර වහන තත්වයක් නිසාය.
1964 ජුනි 13 දින පානදුරේ උපත ලැබූ සරත් චන්ද්‍රසිරි වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහුගේ නාට්‍ය ගුරුවරයා වූ සරත් කුලාංග මුණගැසුණි.
චන්ද්‍රසිරි නාට්‍ය ජීවිතය ආරම්භ කළේ සරත් කුලාංග ගුරුවරයාගේ මඟපෙන්වීම යටතේය. මේ අතර කුලංග හරහා ඔහුට ජනක් ප්‍රේමලාල්, ජයලත් මනෝරත්න ඇතුළු තවත් නාට්‍යකරුවන් කිහිප දෙනෙක් මුණ ගැසුණි. ඔවුන් යටතේ ඔහු අබුද්දස්ස කෝලම, රජ කපුරු, අන්දරේල, තලමල පිපිල, ගුරු තරුව, පුත්‍ර සමාගම වැනි වේදිකා නාට්‍ය රැසක රඟපෑවේය.


ඔහුගේ ටෙලි නාට්‍ය අතර අඩෝ, දම්සාරි,දූ දරුවෝ, ජෝඩු ගෙදර, මහාවිරු පඬු,පබා, සිදූ හා වසන්ත කුසලන ප්‍රකටය. ඔහු රඟපෑ චිත්‍රපට අතර රාජ්‍ය සේවය පිනිසයි, බහුබූතයෝ , සමනල තටු, සිකුරු හතේ, රන් කෙවිට, මධුර චාරිකා ,වස්සානයේ සඳ,ඩොක්ටර් නවරියන් කිහිපයකි.
චන්ද්‍රසිරි මහතා විවාහ වී සිටින්නේ චාරිකා ජයමාලි සමඟයි. මෙම යුවළට එක් පුතෙක් - කංචුක තිලක්ෂණ සහ එක් දියණියක් - හසරා නිලක්ෂි සිටී. කංචුක මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ඇත. හසාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි.
2016 නොවැම්බර් 21 දින චන්ද්‍රසිරි වේදිකා නාට්‍යයක වැඩ කරමින් සිටියදී කෙටි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත විය. ඔහුව ඉක්මනින්ම ඇල්පිටිය රෝහලට ඇතුලත් කරන ලදී.


2021 නොවැම්බර් මාසයේදී ඔහු නැවතත් රෝහල් ගත කරන ලද අතර අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සති ගණනාවක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.දෙසැම්බර් 4 වන දින ඔහුගේ මරණය මස්තිෂ්ක රක්තපාතය හේතුවෙන් සිදුවූ බව රෝහල දන්වා ඇත.