වැල්ලවත්ත, ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැගිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක රුපියල් පනස්දහසක ශරීර ඇප මත මුදාහරින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ඊයේ (22)දා නියම කළේය.
අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක, ඔහුගේ බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායක යන අයට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (22)දා දිනයේදී පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ඔනෙලා කරුණානායක පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියාය. රවී කරුණානායක මහතා සහ ඔහුගේ බිරිඳ වන මේලා කරුණානායක මහත්මිය රෝගී තත්වයෙන් පසුවන බව ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියහ.
මේ අතර, රවි කරුණානායක මහතා, බිරිද මේලා කරුණානායක, දියණිය ඔනෙලා කරුණානායක යන අයට දෙසැම්බර් මස 27වැනිදා උදෑසන වැල්ලවත්ත පොලීසියේ විවිධ පැමිණිලි අංශයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ බිරිඳ වන ෆාතිමා රුස්නා අසාත් සාලි මහත්මිය විසින් පසුගිය ඔක්තෝබර් මස 13වැනිදා වැල්ලවත්ත පොලීසියේ විවිධ පැමිණිලි අංශයට සිදු කරන ලද
පැමිණිල්ලක් සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා සහ බිරිද දියණිය යන තිදෙනා වැල්ලවත්ත පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි.මෙම නඩුව ලබන ජනවාරි මස 13වැනිදා යළි කැඳවීමට නියමිතය.
(ගල්කිස්ස - දීලංගා ගෝමස්)
Comments
Post a Comment
Your comment will be visible after approval