panamura-incident

දෙසොහොයුරන් අතර ඇති වූ ආරවුලකින් තම බාල සොහොයුරාට කැත්තකින් පහරදී ඝාතනය කළ බවට සැක
වැඩිමල් සොහොයුරා සිද්ධියෙන් පසු පොලිසියට භාරවී ඇත. 

පනාමුර පොලිස් වසමේ ඕමල්පේ වම්බොටුයාය 216/3 ගල්කන්දගොඩ ප්‍රදේශයේ 21දා රාත්‍රි හටගත්
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අලකොලදෙනියගේ කුමාරදාස (45) යන පස් දරු පියෙකි.

සහෝදරයන්
දෙදෙනා අතර මියගිය අයගේ මවගේ නිවෙසේදී බහින්බස්වීමක් සිදුව ඇත. අයියාද එම නිවෙසේ ජීවත් වන
අතර මල්ලී තම මව බැලීමට එම නිවෙසට ගිය අවස්ථාවේදී මව බත් කමින් සිටි බවත් අයියා විසින් මවට
කන්න දී තිබූ එම කෑම හොඳ නැතැයි කියමින් මල්ලී එම කෑම පිඟාන පොළොවේ ගැසීම නිසා හටගත්
අරගලයෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවද වාර්තා වේ.



මේ වන විට සැකකරු පනාමුර පොලිසියට බාරවී ඇති අතර ඝාතනය සඳහා භාවිත කළ ආයුධය පොලිස්
භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ විමර්ශන පොලිස් නිලධාරීන් හා පනාමුර
පොලිසිය එක්ව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ඇඹිලිපිටිය - රූපසේන පත්තුව, සෙවණගල - එස්. කුට්ටපිටිය