විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කාන්තාවන්ගේ ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරමින් සිටි කාන්තා කටයුතු ඇමැතිවරයකු සභාවේ සිටිනවාදැයි සභාව සිසාරා විපරම් කර බැලුවේ සිනාසෙමිනි.

මේ අවස්ථාවේ දී  විපක්ෂනායකවරයා සහ කාත්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අතර ඇති වූයේ උණුසුම් කතාබහකි.  මුලින්ම සංවාදයට මුලපිරුවේ සජිත්ය.  "මම දන්නෙ නෑ කාන්තා කටයුතු ඇමැතිවරයා කවුද කියලා. එහෙම කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ..." යැයි විපක්ෂනායකවරයා කීවේ මද සිනහවක් ද පාමිනි. මෙහිදී එකවරම නැගී සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත “මම විපක්ෂනායකතුමා ගැන කනගාටු වෙනවා. කාන්තා කටයුතු රාජ්‍ය  ඇමැතිවරයා ගැන දන්නේ නැහැ කියනවා නම් එතුමාගෙ තත්වෙ අපට හොඳට තේරෙනවා. ඉස්සෙල්ලා ඒ ගැන  හොයල බලන්න වෙනවා” යැයි පැවසුවේ උපහාසයෙනි.




මෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්  කිහිප දෙනකු විපක්ෂනායකවරයාට විවිධ  දේ කියමින් දෝෂාරෝපණය කරනු  දක්නට ලැබිණි. පියල් නිශාත්තගේ ඒ කතාවට විපක්ෂ නායකවරයාට ද පිළිතුරක් තිබුණේය. මම කතා කළේ කාන්තා කැබිනට්  ඇමැති ධුරයක් ගැන. කනගාටුයි එතුමා  මම කියපු දේ අහගෙන හිටියේ නෑ. ඒ  ඇමැති ධුරය කැබිනට් තත්වයේ සිට  රාජ්‍ය ඇමැති ධුරය දක්වා පහත හෙළන්න මේ රජය කටයුතු කළා. එය කනගාටුදායක කාරණයක්. මම කියපු කාරණය සාක්ෂාත් කරන්න ඉදිරිපත්වීම ගැන මම ඔබතුමාට ස්තූතිවන්ත  වෙනවා” යැයි ප්‍රේමදාස කීව්වේ පියල් දෙස  බලා ඔළුව ඒ මේ අත සොලවමිනි. ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන හිටපු අමාත්‍යවරයාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වූ කිරිඇල්ල පාසල්වලට ළමයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීමක් මැතිසබය හමුවේ දිගහැරියේ සභාවේ සිනාහඬ මධ්‍යයේය. “මම කලකට පෙර ළමයෙක් දාගන්න මහනුවර ඉකෝලෙකට ලියුමක් යැව්වා. ඒ වෙලාවේ විදුහල්පතිවරයා ඒ ළමයගෙ මවුපියන්ට කියලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ළමයෙක් දාන්න දහදාහක් ගන්නවා. ඒත් ඇමැතිතුමා නිර්දේශ කරපු නිසා දෙදහස් පන්සියයක් ගන්නවා කියලා.” එසේ පැවසූ කිරිඇල්ල මහ හයියෙන් සිනාසුණේය.  ඒ කතාවෙන් නොනැවතුණු කිරිඇල්ල  තවත් කතාවක් කීවේය.


"මේක ඇත්ත කතාවක්. මේවා අද හැමතැනම වෙනවා. නවත්තනෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය." “පාසල්වල සංවර්ධන සමිති තියෙනවා. ඒවා හරහා ඕන තරම් මුදල් රැස් කරන්න පුළුවන්. ආදි ශිෂ්‍යයෝ ඕනතරම් දෙනවා අපේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය රැවෙන දවසට රාජකීය මාවතේ වාහන තුන්සීයක් තියෙනවා. ලංකාවේ ප්‍රධානම සමාගම්වල සී.ඊ.ඕ ලා ඉන්නේ එතන. ඒ තුන් සියයට පුළුවන් ඕන තරම් මුදල් රැස් කරන්න."

කිරිඇල්ල කීවේ අධ්‍යාපන ඇමැති  දිනෙෂ් ගුණවර්ධන දෙස ද බලමිනි.  කිරිඇල්ල දිගටම කතා කරයි.


 "අපි ඉස්කෝලෙ යනකාලෙ පහසුකම්  ගාස්තු ගෙව්වේ රුපියල් තුනයි. දිනේෂ්  ගුණවර්ධන මහත්තයා දන්නවා. අපේ දරුවන් දහස් ගාණක් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යනවා. මේ අපරාධයක්. තමිල්නාඩුවේ පෞද්ගලික  විශ්ව විද්‍යාල පහළොවක් විතර තියෙනවා. හැබැයි නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න බැහැ. අපි නිදහස ලබන කොට සිංගප්පූරුවට විශ්ව විද්‍යාලයක් තිබුණේ නැහැ. අද සිංගප්පූරුවේ විශ්ව විද්‍යාලය ලෝකයේ පස්වැනි තැන. අපි ඉන්නේ කොතනද කියලා මේකෙන්  පේනවා." යැයි කිරිඇල්ල පැවසුවේ තරමක් කනස්සල්ලෙනි. කුරුණෑගල තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අධ්‍යාපනය ගැන කතා කරමින් සිටිය දී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන සිටියේ තවත් මන්ත්‍රීවරයෙකු සමග බර කතාවකය.


මේ අවස්ථාවේ දී දිනේෂ් ගුණවර්ධන දෙස හැරුණු තුෂාර ඉඳුනිල් පැවසුවේ ඉළ ඇදෙන කතාවකි. “අපි මෙතන වැදගත් දේවල් කියනවා. ඒ දිනේෂ් ගුණවර්ධන මහත්තයා එතන ජොලියෙ සාකච්ඡාවක. අර බලන්න. අර බලන්න... එතුමට අපි කියන දේවල්  ඇහෙන්නේ නෑ. එයා හරි ජොලි වැඩක ඉන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමියනි, ඇහෙන්නේ නෑ.. ඇහෙන්නේ නෑ. බොරලුගොඩ සිංහයා අම්මප පුදුම ජොලියක ඉන්නේ” යැයි තුෂාර කීවේ මුලසුන දෙස ද බලමිනි. තුෂාරන්ගේ ඒ කතාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මහ හයියෙන් සිනාසෙනු දැකගත හැකි විය. මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහා හයියෙන් කෑ ගැසුවේය. ඒ කෑගැහිල්ලට නම් තුෂාරට යකා නැග්නීය.  “තමුන්නාන්සේ කෑ නොගහ ඉන්නවා. තමුන්නාන්සේගේ ඇමැති ලොකු  ජොලියක. බූරුවෙක් වගේ කෑ නොගහ ඉන්නවා, මිනිහෝ. අර තප්පුලන මිනිහට  මේවා තේරෙන්නේ නැහැ. අන්න හාල්පාරුවෙක් කෑගහනවා " තුෂාර පැවසුවේ මහ සද්දෙනි.


 -සුජිත් හේවාජුලිගේ-