p-harison-speaks

වියත්මඟේ කියත්මඟ නිසා රට විනාශ වූ බව හිටපු ඇමැති පී. හැරිසන් පවසයි. ඔහු එසේ කියා සිටියේ
ඊයේ (22දා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

රටේ හැම අංශයක්ම භයානක තත්ත්වයට පත්වෙලා. ආණ්ඩුව පිහිටුවන්න උදවු කළ පුවත්පත් අතරින් ‘මව්බිම’
ඊයේ කියනවා වී මෙටි්‍රක් ටොන් 4,000කින් අඩු වන බව. ඒ පත්තරේම අද කියනවා පොහොර බෑග් එකක්
රු. 30,000කට අලෙවි වන බව. එහිදී රටේ ඇමැතිවරු ඇස් පියාගෙන ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍ය
ලේකම් කියනවා අපි අතින් වැරැද්දක් වුණා කියලා. අපි ඒ බව දිගින් දිගටම කිව්වා. ඒක හැටනව
ලක්ෂයක් පිළිගත්තේ නැහැ. ලේකම්ට ඇමැතිට විතරක් නෙමෙයි මුළු රටටම වැරදිලා.

අද ගම්වල මිනිස්සුන්ට ජීවත් වෙන්න විධියක් නැහැ. පොහොර රුපියල් 30,000ට මිල ගිහින්. ඒකත්
හොයාගන්න නැහැ. එම නිසා වී අස්වැන්න අඩු වෙලා.

මේ යූරියා ප්‍රශ්නයත් රසායනික නොගෙන්වීමත්
නිසා බඩඉරිඟු අස්වැන්න මෙටි්‍රක් ටොන් 50,000ක් වත් ගන්න බැහැ. සම්පූර්ණ බඩඉරිඟු වගාව විනාශයි.
එම නිසා අපිට වැඩි මුදලට පිටරටින් ආනයන කරන්න වෙනවා. එහිදී බිත්තර රු. 50ට ඉහළ යන එක නතර
කරන්න බෑ. කුකුළු මස් මිල 1,300ට යනවා. සිංහල අවුරුද්දට හාල් කිලෝවක් රු. 300ට මිල යනවා.
හේතුව රට තුළ නිෂ්පාදනයක් නැහැ. වී අස්වැන්න අඩු වෙලා. පිටරටින් කොච්චර හාල් ගෙනාවත් දේශීයව
හාල් මිල ඉහළ යනවා. මිනිස්සුන්ට කන්න තියා හිතන්නවත් බෑ.

මාධ්‍ය හරහා දැක්කා මිනිස්සු කොරටුවලට පැනලා කරවිල, බටු හොරාට කඩලා විකුණනවා. අපි මෙතෙක්
අහලා තියෙන්නේ රත්තරන් බඩු කඩයක් හෝ ගෙයක් බිඳලා සල්ලි ගත්තා කියන හොරකම්. දැන් කරවිල
කොටුවට පැනලා කරවිල කඩාගෙන යනවා. මිනිස්සුන්ට ඒ තරම් අමාරුයි.

කාටවත් බරක් නැතිව මහපොළොව එක්ක ගැටෙන ගොවියාට ස්වෝත්සාහයෙන් ගොවිතැන් කරන්න පොහොර ටික
දුන්නේ නැහැ. කාබනික කරන්නම් කියලා රටම විනාශ කළා. ආණ්ඩුව දැන්වත් ⁣තකතීරු තීන්දුවෙන් ඉවත්
වෙලා යල කන්නයටවත් පොහොර ගේන්න.

මහින්දානන්ද මාධ්‍යයට කියනවා මේ කන්නයට පොහොර නෑ කියලා. ගැසට් රිවස් කළා. යූරියා ගේන්න
සමාගම්වලට අවසර දුන්නා කිව්වා. මොන සමාගමෙන්ද යූරියා ගෙනත් තියෙන්නේ. එළවළුවලට නැනෝ
ගේනවා කිව්වා. ෆ්ලයිට් එකෙන් ගේනවා කිව්වා. අපි තවම බලාගෙන ඉන්නවා කොහේද ගොඩබාන්නේ
කියලා. අද මිනිස්සුන්ට කන්න තියා ලෙවකන්නවත් නැහැ. ඒ තත්ත්වය ආණ්ඩුව විහින් ඇති කළ දෙයක්.
 ආණ්ඩුව හැම දේකින්ම අනා ගත්තා. ගෑස් ප්‍රශ්නයට විවිධ හේතු කිව්වා. අපේ ගෑස් ළිපේ ප්‍රශ්න
තියෙනවා, ප්‍රමිතියෙන් අඩුයි, ගෑස් ළිප පත්තු කරන කෙනාගේ වැරැද්දක් කිව්වා.

රෙගියුලේටර් ප්‍රශ්න
මේ වගේ විවිධ දේ කියලා ගැලවෙන්න හැදුවා. කොම්පැනි විසින් ගෑස් හිඟයක් ඇති කළා. ජනතාවට
පෝලිමේ දින දෙක, තුන ඉන්න වුණා. එසේ හිඟ කරලා පුපුරන ගෑස් ගෙවල්වලට බෙදුවා. මේ නිසා
මිනිස්සු මැරුණා, තුවාල වුණා, මෙහෙම ලෝකයේ කොහේවත් සිදුවෙලා නැහැ.

පාරිභෝගිකයාගේ වැරැද්දක් නෙමෙයි. ගෑස් ළිපේ ප්‍රශ්නයක් නෙමෙයි. සමාගම් දෙක කළ වැරැද්දක්
බව ඔප්පු වෙනවා. ඒ සමාගම්වලට විතරක් නෙමෙයි පාරිභෝගික රාජ්‍ය ඇමැති හැමදාම මාධ්‍යයට
ඇවිත් තප්පුලනවා. එසේ බයිලා කියලා වැඩක් නැහැ. කරුණාකර ගෑස් සමාගම් දෙකට නියෝග දෙන්න
මියගිය පවුල්වලට ලක්ෂ 25ක වන්දියක් ගෙවන්න කියලා. ඒ වගේම තුවාල ලැබූ, අලාභහානිවලින්
අසාධාරණයට ලක් වූ සියල්ලට ලක්ෂ 10ක වන්දි ගෙවන්න. ඒක ආණ්ඩුවේ වගකීමක්.

ඊයේ තෙල් මිල වැඩි වීම ගැන විවිධ කතා කිව්වා. ලෝක වෙළෙඳපොළ තෙල් මිල අඩුයි. නමුත් ලංකාවේ
මිල වැඩි වෙනවා. අපේ කාලේ මිල සූත්‍රයක් ගෙනාවා. එදා අපහාස කළාට දැන් කියනවා සූත්‍රය
තිබුණා නම් හොඳයි කියලා. අපි කිව්වා මේවාට විසඳුම මේකයි කියලා. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික
ඔස්තාර්ලා, බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික පකීර්ලාට දැන් තේරෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග හරි කියලා.

හෙට අනිද්දා ගහයි තුන්වේල කන්න බෑ දෙවේලක් කන්න කියලා ගැසට් එක. එය දැන්මම බන්දුල ගුණවර්ධන
ලෑස්ති කරනවා ඇති. වාසුදේව නානායක්කාර කියනවා කූපන් ක්‍රමයක් ගේන්න ඕන කියලා. ඒ 70 යුගයට
එන්නේ. එදා කූපන් එක අරන් තමයි ටයරය ගන්න ගියේ. ලාම්පුතෙල් රෙද්ද ගන්න කූපන් එක අරන් ගියේ.
පිටරටින් ගේන එක නතර වුණාම ඝණ්ටාර, සරම්, චීත්ත සියල්ල ලැබෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ මැති
ඇමැතිවරුන්ගේ සංකල්පය.



ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති කෙනෙක්ට බලය දීලා මේ සියල්ල අද සිදුවෙලා තියෙන්නේ. ඩ්‍රයිවින්
දන්නේ නැති කෙනෙක්ට වාහනයක් දීලා හප්පගෙන තියෙන්නේ. රට තුළ භාණ්ඩාගාරය හිස් වෙලා. ඩොලර්
නැහැ. නමුත් ඩොලර් ඇති තියෙන තැන්වල. කබ්රාල් තමයි මේ රට කෑවේ. තව කෙනෙක් තමයි පී.බී.
ජයසුන්දර, කබ්රාල් කියයි ඩොලර් තියෙයි කියලා. එයාගේ අම්මාගේ අප්පගේ බූදලේ නෙමෙයි. තියෙනව
නම් තානාපතිලා ළඟ වැඳ වැටෙන්න ඕන නැහැ. විමල් වීරවංශ, වාසුදේව, ගම්මන්පිල නාටකයක් බවට
පත්වෙලා. ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධව උසාවි යනවා. මේක රඟපෑමක්.

නිර්මාණි ගුණරත්න