nimal-siripala-pakistan-priyantha

ඉතාමත් අවාසනාවන්ත ලෙස  පකිස්ථානයේ දී ඝාතනය වූ ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් කළමනාකරුවා වෙනුවෙන් ඔහුගේ පවුලට උපරිම සහන සලසමින් එම පවුලේ  යැපෙන්නන් සඳහා අනාගත  සුභසාධන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති  කාර්යාංශයට  උපදෙස් දෙයි.





ශ්‍රී ලාංකික සේවකයෙකුට කළ මෙම   පහරදීම හා  එසේ පහර දී ඔහුව ඝාතනය කිරීමේ  සිද්ධිය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මෙම සිදුවීම පිළිබඳව  විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පාකිස්තානය අදාල ආරක්ෂක හා නීති අංශවලට  උපදෙස්දීම පිළිබඳව ශ්‍රී ලංකා  රජයේ  හා ශ්‍රී ලාංකේය ජනතාවගේ  ගෞරව ප්‍රසාදය පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට පිරිනමන බව අමාත්‍යවරයා පවසයි.

අදහන ආගම කුමක් වුවද අනෙකුත්  ආගම්වලට ගරු කිරීම  ශ්‍රී ලාංකේය අපගේ  සංස්කෘතියේ කැපී පෙනන ධනාත්මක ලක්ෂණයකි.එම නිසා  සාමය අගයන ලෝකවාසී ජනතාව සමග එක්ව අපි ඕනෑම ආගමක් හෝ ජාතියක්  පදනම් කරගත්  අන්තවාදය ප්‍රතික්ෂේ කරමු.



එසේම මෙම කුරිරු ම්ලේච්ඡ   ප්‍රහාරයෙන් අවාසනාවන්ත ලෙස මියගිය  ගනේමුල්ල   පොකුණ හන්දිය හි පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ  පවුලේ සාමාජිකයන් වෙත ප්‍රියන්ත කුමාර මහතාගේ අභාවය පිළිබඳ  අපගේ සාතිශය සංවේගය පළ කරන අතර,එම පවුලේ සාමාජිකයන්ගේ  හා යැපෙන්නන්ගේ අනාගත සුබසාධනය වෙනුවෙන් ගත හැකි  උපරිම පියවර ගෙන එම සහන කඩිනමින් සලසන  ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ඒඅනුව ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් කඩිනමින්  ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.

එසේම  ප්‍රියන්ත කුමාර මහතාට  සිදු වූ මෙම අවාසනාවන්ත මරණය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ඉදිරි කටයුතු කරගෙන යාමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසයි.