minister-piyankara

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් එනම් උණ්ඩියල් ක්‍රමයට මුදල් එවීම නිසා, එම මුදල් අදාල අය වෙත ලබා නොදී වංචා කර ඇති බවට තමන් වෙත වාර්ථා වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි. මේ සම්බන්ධව විදේශ ගත ශ්‍රමිකයින් කිහිප දෙනෙකුගේ පවුලේ ඥාතීන් විසින් තමන්ට දන්වා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.



රුමේනියාවේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් කිහිප දෙනෙකුට ලිපි ලේඛන ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් පියංකර ජයරත්න මහතා පසුගියදා (2021.12.03) රාජ්‍ය අමාත්‍යාංශයේදී මෙම අදහස් ප්‍රකාශ කළේය.

“මේ දිනවල මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයින්ගෙන් පැමිණිලි රාශියක් මටත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් ලැබිලා තියෙනවා. ඒ අයගේ මුදල් උණ්ඩියල් ක්‍රමයට එවලා තියෙනවා. නමුත් එම මුදල් ලංකාවේ අයට දීලා නෑ කියලා කියනවා. උණ්ඩියල් ක්‍රමය කියන්නේ පිටරටක සිටින නියෝජිතයෙකුට මුදල් ලබාදෙනවා.
ඔහුගේ නියෝජිතයෙකු ලංකාවේ සිටිනවා. ඔහු තමයි රුපියල් වලින් ඒ මුදල් ලංකාවේ අයට දෙන්නේ. නමුත් බොහෝ පිරිස් මේ මුදල් වංචා කරනවා. මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ක්‍රියාත්මක වෙන්න නීතිමය බලතල නෑ. උණ්ඩියල් ක්‍රමය නීතිවිරෝධීයි. මෙම ක්‍රමය මගින් මුදල් එවන විට කිසිම වගකීමක් නෑ. ඒ වගේම රටට ඩොලර් එන එකත් නවතිනවා. ලංකාවේ වාණිජ බැංකු හරහා එවනවා නම් මුදල් සුරක්ෂිත වෙනවා.”

යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. වාණිජ බැංකු හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට රජය මගින් සෑම ඩොලරයකටම අතිරේක රු.10ක් හා තවත් සහන රැසක් ලබාදෙන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ස්වයං රැකියා ආධාර, නිවාස ණය වැනි පහසුකම්ද සපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විස්තර කළ අයුරු හඩ පටය පහතින්