kalpitiya-gas-house

ගෑස් කාන්දුවකින් සම්පුර්ණයෙන් විනාශ වූ කල්පිටිය කුරක්කන ගම්මානයේ නිවෙසක් පුන්තලම කොට්ඨාස අපරාධ  ස්ථානීය පරීක්ෂණ නිලධාරින් ඊයේ (27 වැනිදා) පූර්ණ පරීක්ෂාවකට ලක්කළ බව කල්පිටිය පොලීසිය පවසයි.   කුරක්කහේන ගම්මානයේ පිහිටි මෙම නිවෙසේ වහලය සම්පූර්ණයෙන්ම තහඩුවලින් සකසා තිබූ බවත්, ලී යොදා ගනිමින් බිත්ති ආවරණය කර තිබූ බවත් පොලීසිය කියයි. 

මෙම නිවෙසේ හිමිකාරියගේ දියණිය ඇයගේ වයස අවුරුද්දක පමණ දැරියට කිරි සෑදීම සඳහා ඊයේ (27) අලුයම ගෑස් උඳුන දල්වා සුළු මොහොතක් ගත වෙද්දී ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදු වූ බවත්, ඒ සමගම උඳුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනීමකට ලක්ව ඇති බවත් නිවැසියන් පොලීසියට පවසා තිබේ.


ගෑස් කාන්දුව සිදු වූ නිවස ගිනි ගත් අවස්ථාවේදී කුඩා දැරිය ඇතුළු හත් දෙනකු එහි සිට ඇති බව පොලීසිය පවසයි.  ගිනි ගැනීමෙන් නිවෙසේ හිමිකාරිය හා ඇයගේ සොහොයුරා සුළු පිලිස්සීමකට ලක්ව ඇති බව කියයි.  මෙම නිවෙසේ කුඩා සිල්ලර  වෙළඳසලක් ද පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ගිනි ගැනීමෙන්, පසුව නිවැසියන්ගේ සියලුම දෑ විනාශ වී ඇති බවත්,

මෙම පිරිස ඇඳ සිටි ඇඳුම් පමණක් ඉතිරි වී ඇති බවත් කියති.  නිවැසියන් පොලීසියට දුන් ප්‍රකාශවල ඇත්තේ, ගිනි ගැනීමෙන් රුපියල් ලක්ෂ 15කට ආසන්න දෑ ඇතුළු සියල්ලම සම්පූර්ණ යෙන් විනාශ වී ඇති බවයි. ගිනි ගැනීමට ලක්වූ නිවෙස පුත්තලම කොට්ඨාස අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරීන්ගේ විශේෂ පරීක්ෂණයට ලක්කර තිබිණි. මෙම නිවෙස පරීක්ෂ කිරීම සඳහා කල්පිටිය පොලීසිය රජයේ රසපරීක්ෂකට ද දැනුම් දී ඇති බව පැවැසේ.  සිද්ධිය සම්බන්ධව කල්පිටිය පොලිස්  ස්ථානාධිපති එම්.අයි.බී.එස්. නිශාන්ත කුමාර මහතා සමග අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරික්ෂණ අරඹා තිබේ.


 - ප්‍රියංකර ජයසිංහ--