ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහයට අවසන් ගෞරව දක්වයි
අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණියගේ (Mrs Madhulika Rawat) දේහයන් පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිකුරාදා (10) දින පස්වරුවේ ඉන්දීයාවේ නවදිල්ලි නුවර, ධවුලා ක්වාන් (Dhaula Quan) පිහිටි බ්‍රාර් ආදාහනාගාරයේදී සිදුකෙරිණි. 

අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ එම මැතිණියගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍යවරුන්, දේශීය හා විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ඉහළ පෙළේ හමුදා නිලධාරින්, ඉන්දීය රජයේ පරිපාලන නිලධාරින්, ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ යුද, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ පවුලේ සාමාජිකයින් ඇතුළු ශෝකයට පත් ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සිකුරාදා (10) දින උදෑසන නවදිල්ලි නුවරට ගොස් අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ දේහයට මල් කළඹක් තබා සිය ගෞරවාචාරය පුද කළේය.



දේහයට අවසන් ගෞරව දැක්වු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අභාවප්‍රාප්ත ඉන්දිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දියණියන් හමුවී සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් විශේෂ ශෝක පණිවිඩයක් ද භාරදුන්නේය. මේ පිළිබඳ සැලවු වහාම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම පිළිබඳව අභාවප්‍රාප්ත ජෙනරල් බිපින් රාවට් ගේ දියණියන් දෙදෙනාම ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එම අවස්ථාවේදී ඔවුන්ගේ කෘතඥතාව පුද කළහ.

මේ පිළිබඳ සැලවී පැය කිහිපයක් ඇතුලත අවමංගල්‍ය උත්සවයට සහභාගි  වීම පිළිබඳව ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සිය කෘතඥතාව එම අවස්ථාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පුද කළේය. එහිදී ඉන්දීය හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අදහස් හුවමාරු කරගනිමින් අභාවප්‍රාප්ත මෙම ශ්‍රේෂ්ඨ හමුදා නායකයාගේ ඛේදනීය වියෝව පිළිබඳව ශෝකය පළ කළහ.

ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායම්වලින් සමන්විත හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍යය උත්සවයේදී කාලතුවක්කු වෙඩි මුර 17 ක් ගුවනට මුසු කරමින් අභාවප්‍රාප්ත ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් වෙත පූර්ණ හමුදා ගෞරවාචාර පුද කරන ලදී. ඉන් අනතුරුව, හින්දු ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව අභාවප්‍රාප්ත ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගි වු බංගලාදේශයේ සහ නේපාලයේ හමුදාපතිවරු ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ එම අවස්ථාවේදී අදහස් හුවමාරු කරගත්හ.

මෙම හදිසි අනතුර පිළිබඳ සැලවු වහාම ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සහ මාධ්‍ය වෙත විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සිය ශෝකය ප්‍රකාශ කර සිටියේය.

“ඔහු සතුව තිබූ හමුදා දැනුම, අණදීම, නායකත්ව ගුණාංග, දූරදර්ශී මෙහෙවර සහ සුහදශීලීව රාජකාරි ඉටුකිරීම වැනි ගුණාංගයන් පිළිබඳ නැවත සඳහන් කිරීමට අවශ්‍ය නැත. වෘත්තීමය ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කිරීමටත්, ගෝලීය සහ කලාපීය වශයෙන් පැනනගින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ඔහු යටතේ සේවයේ නියුතු භටපිරිස් ධෛර්යමත් කිරීමටත් එතුමන් කටයුතු කළ බව” ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සැබෑ මිතුරෙකු හා හමුදා නායකයෙකු වන අභාවප්‍රාප්ත ඉන්දිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වෙත ගෞරව පුදකරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන් වේ.
ජෙනරල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මැතිණියගේ දේහයන් සිකුරාදා (10) දින පෙරවරු 11.00 ට සිය නිවසෙන් රැගෙන විත් ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින් සමන්විත හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍යය කටයුතු පස්වරු 02.00 ට ධවුලා ක්වාන් (Dhaula Quan) පිහිටි බ්‍රාර් ආදාහනාගාරයේදී සිදුකෙරිණි.

අභාවප්‍රාප්ත ජෙනරල් බිපින් රාවට් සහ මධුලිකා රාවට් මහත්මියගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මැතිතුමන්, ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්, තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමති එම්.කේ. ස්ටාලින්, යුද්ධ, නාවික හා ගුවන් හමුදා ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු ශෝකයට පත් තවත් බොහෝ පිරිසක් සහභාගි වුහ.

ඉන්දීය පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණිය ඇතුළු හමුදා නිලධාරින් කිහිපදෙනෙකු වෙලිංග්ටන් ප්‍රදේශයේ පිහිටි ඉන්දිය ආරක්‍ෂක සේනා මාණ්ඩලික විද්‍යාලයේ පසුගිය බදාදා (08) මධ්‍යහනේ පැවති උත්සවයකට සහභාගී වීම සඳහා හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටියදී තමිල්නාඩු ප්‍රාන්තයේ නිල්ගිරි දිස්ත්‍රික්කයේ කූනූර් ප්‍රදේශයට ආසන්නයේදී මෙම හදිසි අනතුර සිදුවී ඇත.  

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සැබෑ මිතුරෙකු මෙන්ම ආදර්ශමත් හමුදා නායකයෙකු වන අභාවප්‍රාප්ත ඉන්දිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat), දෙරට අතර සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.