පියා සහ බාප්පා පහර දීම හේතුවෙන් පසුගිය දා මිය ගිය 14 හැවිරිදි ගම්පොළ දැරියගේ සහෝදරිය මූලික
මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සාක්ෂි අනුව මෙම සංසිද්ධිය වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.
ගම්පොළ මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් මිය ගිය දැරියගේ නිවසට ගොස්
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරනු ලැබ තිබේ.
මිය ගිය දැරියගේ සහෝදරිය මෙසේ කීවාය.
"බාප්පලගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙනාවට පස්සෙ එයාට හිටගෙන වත් ඉන්න බැරි
තරමට අමාරුවෙන් හිටියේ. කීප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා නින්ද ගියේ නෑ.
තාත්තා රෑ 2.00ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා අපට නිදාගන්නවත් නෑ කෙඳිරි ගානවා
කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි අම්මයි
ලොකු අක්කයි නංගියි සේර ම පොඩි අක්කා එක්ක මහ රෑ එළියට ගියා."
ගම්පොළ මවුන් මවුන්ටෙම්පල් ප්‍රදේශයේ පදිංචි මිය ගිය දැරිය ගම්පොළ, ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇත.
පසුගිය 13 දින ගම්පොළ, අංගම්මන පිහිටි බාප්පාගේ නිවස වෙත ගොස් ඇති ඇය, 19 වන දා යළි නිවස
වෙත රැගෙන විත් තිබූ බව වාර්තාවිය.
මෙම දැරිය බාප්පාගේ නිවසට ගොස් සිටියදී බාප්පාගේ දියණිය සහ එම ප්‍රදේශයේ තරුණයෙකු සමග පේර කැඩීමට ගොස් සිටියදී එය දැක ඇති යම් අයෙකු ඒ බව බාප්පාට දන්වා ඇත. පසුව බාප්පා දියණියන් දෙදෙනා ම කැඳවා අවවාද කොට පහර දී ඇති බව හෙළි වී ඇත.
අනතුරුව දැරිය යළි නිවස රැගෙනවිත් ඇති බව ත් එහිදී දැරිය අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වුව ද කිසිවෙකු ඇය රෝහල්ගත කිරීමට පියවර ගෙන නොතිබූ බවත් වාර්තා විය.
නිවසට ගෙනා පසු පියා ද යළිත් ඇයට පහර දීම හේතුවෙන් දෙසැ. 21 දා උදෑසන වන විට ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව සිට ඇත.
පසුව ඇය නිවස අසළ ඥාතී නිවසකට රැගෙන ගිය පසු එම ඥාතීන් විසින් දැරිය රෝහල් ගත කිරීමට සූදානම් වුව ද දැරියගේ පියා ඒ සඳහා ද ඉඩ ලබා දී නොමැත.
මෙහිදී තවදුරට ත් මූලික සාක්ෂි ලබා දෙමින් මියගිය දැරියගේ සහෝදරිය මෙසේ සඳහන් කර ඇත.
"පොඩි අක්කා උඩහ අයියලගෙ ගෙදරට අරන් ගියාට පස්සේ අම්ම ගමේ නැන්දා කෙනෙකුට කියලා දෙහි
ගෙඩියක් මතුරලා ගෙනත් දෙන්න ඕනෑ කිව්වා."
මෙහිදී අසල්වැසි ඥාති කාන්තාවක ද ප්‍රකාශ ලබා දෙමින් මෙසේ සඳහන් කර ඇත.
"නුවන්තිකා මගේ සැමියාගේ ලොකු අම්මගෙ දුව. එයාට අංගම්මන බාප්පලගෙ ගෙදරදී පහර දීලා
කියන ආරංචියට මගේ මහත්තයයි අනෙක් අයයි ත්‍රීවිල් එක අරන් ගිහින් නංගි ගෙදර ගෙනාවා. එයා දවස්
දෙකක් කාලා තිබුණේ නෑ. විකාර දෙඩෙව්වා. කියන ඒවා පැහැදිලිව ඇහුණේ නෑ. උගුරෙන් තමයි
ශබ්දය පිට වුණේ.
එයා මට කීවා මම මහණ වෙන්න යනවා ඔයත් එනව ද මගෙත් එක්ක යන්න කියලා. පස්සේ දවල් එක
හමාරට විතර එයා වතුර ඉල්ලුවා. මහත්තයා එයාට යෝගට් ටිකක් කැව්වා. අයිස් වගේකුත් දුන්නා.
දවල්
දෙකට විතර ඇඳේ හිටියෙ. එයා එකවර ම ගල් වුණා හුස්ම ගත්තෙ නෑ."
මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුර සාක්ෂි විභාගය දෙසැ. 29 දිනට කල් තබා ඇති අතර එදිනට
සාක්ෂිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදි.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර උප පොලිස් පරීක්ෂක අසංක යන නිලධාරීන් එහිදී සාක්ෂි මෙහෙයවීම හා සටහන් කිරීම සිදු කරන ලදි
මෙම දැරිය කල්වේලා ඇතිව රෝහල්ගත කළා නම්, ඇය බේරා ගැනීමට තිබූ බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
තොරතුරු - මාධව බණ්ඩාර - ගම්පොළ
Comments
Post a Comment
Your comment will be visible after approval