මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (30දා) රාත්‍රියේ පැවැති සාදයකින් අනතුරුව එම සාදයට සහභාගී වූ 21 හැවිරිදි තරුණයෙකු හෝටලය තුළ පිහිටි පිහිනුම් තටාකය තුළ ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගත් බව ගොකරැල්ල පොලීසිය පවසයි.  එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බවද පොලීසිය සදහන් කරයි. මෙලෙස sජිවිතක්ෂයට පත්වූයේ, එම සාදයේ ඩීජේ සංගීතය සැපයූ ශිල්පියා වන රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි මලිත් ලක්සර රණසිංහ (අවු.21) නමැත්තෙකි.




පිරිසකගේ සහභාගීත්වයෙන් එම හෝටලේ පෙරේදා (30දා) රාත්‍රියේ මත්පැන් සාදයක් සමග ඩීජේ සංගීත  රාත්‍රියක් පවත්වා ඇති බවද ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිනුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ සංගීත ශිල්පියා දියේ ගිලීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවත්, මරණකරු තනිව පිහිනුම් තටාකයට බැස ඇති බවද පරික්ෂණවලදී අනාවරණය වීය.


පසුව හෝටලයේ සේවකයෙකු ඒ බව දැක දියේ ගිලී සිටි තැනැත්තා ගොඩට ගන්නා විටද ඔහු අසාධ්‍ය තත්වයෙන් සිටි බවත්, එම පුද්ගලයා ප්‍රතිකාර සදහා පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් පිවිතක්ෂයට පත්ව සිටි බවද පොලීසිය සඳහන් කරයි. මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදු කිරිමට නියමිතව තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


 -ගීතාංජලී ප්‍රියදර්ශණී-