cotta-road-incident

රාජගිරිය කොටා පාරේ, අතුරු මාර්ගයක දී වීදි ගණිකාවකගේ පහස ලැබීමට ගිය, පුද්ගලයකුගේ ගෙල බැදී රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වටිනා, රන් මාලයක් කොල්ල කා පලා ගිය, දෙදෙනෙකු, සොයා විමර්ශනයක් ක්‍රියාත්මක බව වැලිකඩ පොලීසිය පවසයි.  

මෙම සිදුවීම ඉකුත් 03 දා රාත්‍රි, රාජගිරිය කොටා පාර ප්‍රදේශයේ දී සිදුව ඇත. සේවය නිමවා නිවසට යමින් සිටි, මෙම පුද්ගලයාට  මහමග රැඳී සිටි, වීදි ගණිකාවක් හමු වී ඇති අතර, පසුව ඇය හා කුළුපග වී පහස ලැබීමට යාබද අතුරු මාර්ගයකට මෙසේ ගොස් ඇතැයි පැවසේ.

දෙදෙනා එම මාර්ගයේ රැඳී සිටිය දී, එක්වරම දෙපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, අනාචාරයේ හැසිරෙන පුද්ගලයාට පහර දීමට තැත් කර ඇති අතර, ඒ අතරතුර දී එහි සිටි එක් අයෙකු පැමිණිලිකරුගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා  පලාගොස් ඇතැයි පොලීසිය කියයි.  මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය වූ ස්ථානයේ  සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක් පරික්ෂ කොට, ඉන් හඳුනාගත්,  වීදි ගණිකාවක් බව පැවසෙන  බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි, (43) හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී, අදාළ සිද්ධිය සැලසුම් සහගතව සිදු කළ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව  පොලීසිය පවසයි.



ඒ අනුව කොල්ල කන ලද රන්මාලය, රුපියල් ලක්ෂයකට, බොරැල්ල ප්‍රදේශයේ අලෙවි සලකට උකස් කර තිබිය දී සොයා ගත් බවත්, එම මුදල් වැය කොට, සැකකාරිය, සැකකරුවන්ට  දෙදෙනා හා එක්ව හෙරොයින් පානය කර ඇති බවත් පොලිසිය  කියයි. සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දෙදෙනකු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පැවසේ.

හෙරොයින් පානය කිරීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින්, සැකකාරිය මෙසේ වීදි ගණිකාවක ලෙස කටයුතු කරන අතරතුර දී, ඒ සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් හා දේපළ  කොල්ලකෑමට සැකකරුවන් ක්‍රියාකර  ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පැවසේ.  ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ අංක හතර අධිකරණයට (07) දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-