ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණ සිටි විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙක් විවිධ හේතුන් මත හදිසියේම  ආපසු පිටත්ව ගොස් ඇත.  නැමීබියානු ක්‍රීඩක ඩේවිඩ් වීස්,  බටහිර ඉන්දීය කොදෙව්ම ක්‍රීඩකයන් වන රෝමන් පවෙල්  සහ ඩෙවෝන් තෝමස් එලෙස පිටත්ව ගොස් ඇති ක්‍රීඩකයෝ වෙති. කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ඩේවිඩ් වීස් පෞද්ගලික හේතුවක් මත ආපසු සිය රට බලා ගොස් ඇති අතර ඔහුගේ හිඩැස පිරවීම සඳහා කොළඹ කණ්ඩායම් කළමනාකාරීත්වය මේ වන විට ක්‍රීඩකයන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරමින් සිටින බව  වාර්තා වේ. 



වීස්ගේ ආදේශක  ක්‍රීඩකයා කවුදැයි යන්න  තවමත් නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවත්, කෙසේ  හෝ අද (10 වැනිදා) දිනය තුළ වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට එක් කරගන්නා බවත් කණ්ඩායමේ කළමනාකරු සුරේෂ් ජයවර්ධන මහතා  පැවසීය.  කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි රෝමන් පවෙල් සහ ඩෙවෝන් තෝමස් ආපසු ගොස් ඇත්තේ ඔවුන්ට සිය ජාතික කණ්ඩායමෙන් කැඳවීම් ලැබීම  හේතුවෙනි. එහිදී පවෙල් ආබාධයකට ලක්ව සිටින කිරන් පොලාඩ්ගේ ආදේෂකයා ලෙසත්, තෝමස් අතිරේක කඩුලු රකින්නා ලෙසත් පාකිස්තාන තරගාවලියට සහභාගිවන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට  ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

පවෙල්ගේ සහ තෝමස්ගේ ආදේශකයන් ලෙස එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනකු වන රවී බෙපාරා සහ ටොම් මූරස් කැන්ඩි වොරියස් කණ්ඩාමයට ඇතුළත් කරගැනීමට කණ්ඩායමේ හිමිකරුවන් පියවරගත් බව එහි කළමනාකරු විනෝදන් ජෝන් මහතා  පැවසීය. මේ වන විටත් ඔවුන් දෙදෙනා දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

 -ශානුක අරවින්ද-